‘‘හඬපට ප්‍රසිද්ධ කරන්නේ කුඩු නාලිකාවක්‘‘ - රන්ජන්




සිය හඬපට යැයි පවසමින් පසුගිය සමයේදී මාධ්‍යට නිකුත් වූ හඬපට ගැන අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අවධාරණය කළේ, ‘‘මේ හඬපට මං මාධ්‍යට දුන්නේ නැහැ. ඒවා මගේ පෞද්ගලික ගබඩාවේ තිබුණේ. ඒවා දුන්නේ පොලීසිය විසින්.‘‘ යන්නයි.

සිය හඬපට හැන්සාඩ් ගතකරන ලෙස ද මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ,

‘‘පහුගිය කාලේ ලංකාවේ සහ ලෝකයේ ජනතාව පක්ෂ, විපක්ෂ, කඩේ යන නාලිකා හරහා, ජනමාධ්‍ය හරහා සංස්කරණය කළ, සංස්කරණය නොකළ, විකෘති කළ, විකෘති නොකළ, වෙනස් කළ, වෙනස් නොකළ, මගේ යැයි කියන හා මා සංවාදයේ යෙදුණා යැයි කියන, ඔත්තුකරුවන්, තොරතුරු සපයන්නන්, උපාය දූතයින්, දේශපාලකයින්, දේශපාලන පක්ෂ වල නායකයින්, විනිසුරුවරුන්...

මට ඒ ගැන උත්තර බඳින්නට අවස්ථාවක් තිබුණේ නැහැ. මා ඒ සියලු පුවත්පත් වාර්තා දෙස උපේක්ෂාවෙන් බලා සිටියා. පාළුගෙයි වළං බිඳිනවා වගේ ඒවා කිව්වා මිසක්, ඒවට උත්තර බඳින්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. 

මගේ දුරකථනය, ගෙදර තිබුණු ලැප්ටොප් එක, හාර්ඩ් ඩිස්ක් එක ඇතුළු මේ සියළු උපාංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස හතරවෙනිදා රාත්‍රියේ ගෙදරට ඇවිල්ලා, එකවරම ඇවිල්ලා ඒ සියලු දේ අත්අඩංගුවට ගත්තා. 

මෙතන ඉන්න කාට හෝ මේ දේ වුණා නම් මං ඒ දේට විරුද්ධව නැගී සිටිනවා. ඒ අයගේ පෞද්ගලික සංවාද ඇති, තමුන්ගේ පෙම්වතියෝ එක්ක කරපු සංවාද ඇති, පෙම්වතියන් සමග මේ ලෝකේ සංවාද කරපු එකම කෙනා මං විතරක් නෙමෙයි. ඉතිං මේ සේරම එකවර අරගෙන ගියා‘‘ යනුවෙන් පැවසුවේය.

සිය හඬ පට හෙළිදරව් කිරීම නිසා අපහසුතාවට පත්වූ සියලුදෙනාගෙන් සමාව ඉල්ලමින් ඔහු පැවසුවේ, ‘‘වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මේවා මගේ ආරක්ෂාවට තියාගෙන හිටි හාර්ඩ් ඩිස්ක් මිසක්, කවදාවත් ඒවා හෙළිකරලා, කාගේවත් සාමය නැතිකරන්න කළේ නැහැ. 

ඒක කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කුඩු ව්‍යාපාරිකයෙක්ගේ කුඩු නාලිකාවක්‘‘ යන්නයි.