‘‘රන්ජන් අපේ කාලයේ වීරයෙකි‘‘ - වික්ටර් අයිවන්



 - වික්ටර් අයිවන් - 




සමාජ - දේශපාලන පුරා පැතිරුණු සැරව ගෙඩියට උල් කටුවකින් ඇනීම 

රන්ජන් දුරකථන සංවාද කළ අයගේ අවසරයක් නැතිව ඒවා රෙකෝඩ් කර ගැනීම වරදක් වුවත්, ඔහු දැන හෝ නොදැන කළේ ලංකාවේ සමාජ-දේශපාලන දේහය පුරා පැතිරී තිබුණ හොඳටම කුණුවූ සැරව ගෙඩියට උල් කට්ටකින් ඇනීමය. එ නිසා දැන් ඉන් සැරව ගලා යමින් තිබෙන අතර ඉන් හමන කුණු ගඳ මුලු සමාජයම වෙළා ගනිමින් තිබේ.

ඔහුගේ හඩපට ආශ්‍රයෙන් ඇතිවූ අර්බුදයට රන්ජන් ඉතාමත් නිර්භීත ලෙස මුහුණ දුන්නේය. කන් කෙඳිරි ගෑමකින් තොරව බන්ධනාගාරයට ගියේය. ඔහු තමන්ගේ විප්ලවය පාර්ලිමේන්තුව තුළටද ගෙනාවේය. සඳහන් කළ යුතු තවත් වැදගත් දෙයක් වනුයේ මෙම අර්බුදයේදී එජාපය රන්ජන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුව ඔහු පාවාදෙන පිළිවෙතක් අනුගමනය කළේය. ඔහුට පාර්ලිමේන්තුවේ කතා කරන්නට වෙන්කර තිබුණේ සීමිත කාලයකි. එහෙත් ඔහු තමන්ට ලැබුණ සීමිත කාලය තුළ පාර්ලිමේන්තුව නිරුවත් කළේය.

නීති විරෝධීව ආණ්ඩුව සමග ජාවාරම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් 

රන්ජන් කළ දේම විධිමත්ව හා නීතියට අනුකූලව කරන්නට පුනරුදය ව්‍යාපාරයද උත්සහායක නිරත වුවත් බලධාරීන් නිසි පියවර ගත්තේ නැත. ලංකාවට තිබෙන්නේ නීතියට පටහැනිව ආණ්ඩුව සමග ජාවාරම් කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් බවත්, රටේ ඇත්වී තිබෙන සමස්ථ කුණුවීම කෙරෙහි පාර්ලිමේන්තුවේ පවත්නා එම අවලස්සන තත්ත්වය බලපා තිබෙන බවත්, කතානායක වශයෙන් ඒ ගැන සොයාබැලීම සඳහා පරීක්ෂණයකට යාම වැදගත් බවත්, අවධාරණය කරන දීර්ඝ ලිපියක් අපි කතානායක වෙත යැවීමු. ඒ සඳහා හුවමාරු වූ ලිපි ගණන හතරකි. පාර්ලිමේන්තුව පිළිබඳව එවැනි පරීක්ෂණයකට යාමේ ව්‍යවථාපිත බලයක් කතානායක වශයෙන් තමන්ට නැති බව ඊට ලැබුණ පිළිතුර විය. කතානායක එසේ නොකොට එදා කරුනු සොයා බලන තැනකට ගියේ නම්, ගඳ ගසන තැනකට නොගොස් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වන්නට ඉඩ තිබුණි.

ඒ සමග අපි ජාතික විගණන කොම්සමේ ප්‍රධානියාට හා මැතිවරණ කොමිසමේ ප්‍රධානියාටද ඒ ගැන පැමිණිලි කලෙමු. මැතිවරණ කොමිණම අපට ඒ ගැන සාකච්ඡාවක් ලබා දෙන ලදී. රජය සමග ව්‍යාපාර කරන පුද්ගලයකුට නාම යෝජනා ලබාදීම පවා නීතියට පටහැනි බව පිළිගනිමින් සෘජු ලෙස හෝ අනියම් ලෙස රජය සමග ව්‍යාපාර නොකරන බවට සහතිකව දිවුරුම් පෙත්සම් නාමයෝජනාවලදී ලබාගැනීම අනිවාර්ය කරන බවට මැතිවරණ කොමිසම සහතික විය.


රන්ජන්ට ජාතියේ ප්‍රණාමය

රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණයක් ආරම්භ කිරීම කතානායකවරයා ප්‍රතික්ෂේප කළ තත්ත්වය තුළ ඒ සඳහා අධිකරණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සියලු දෙනා වෙත අයාචනයක් ඉදිරිපත් කළෙමු. රටේ පොදු යහපත පිණිස ඉදිරිපත් කළ එම ආයාචනයට සියලු ජන කොටස්වලට අයත් ස්වාධීන හා ගෞරවනීය පුරවැසියන් 62 දෙදෙනකු අත්සන් කර තිබුණි. ඒ ගැන ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.

නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් පිළිබඳව කරුණු එකතු කරන ක්‍රියාමාර්ගයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් ද අපි තොරතුරු ඉල්ලා සිටියෙමු. ඔහු කිසිදු පැකිලීමකින් තොරව එම සහාය අපට ලබා දුන් බවද කිව යුතුය.

මහජන ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරුන්, මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් රාජ්‍ය පාලනය, රජය සමග කරන ජාවාරම් මගින් හා වෙනත් ආකාරවලින් කරන වස්තු කොල්ලයක් බවට පත්කරගැනීම ලංකාවේ ඇතිවී තිබෙන කුණුවීම හා කාලකණ්නිභාවය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකය ලෙස සැලකිය හැකිය. එය ලංකාව විසඳා ගතයුතු ප්‍රශ්න අතර තිබෙන අංක එකේ ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය.

වසාගෙන තිබූ වාන් දොර ඇරීම ගැන රන්ජන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. ඊළගට කරන්නේ කුමක්ද ? නව ජනාධිපති කරන්නේ කුමක්ද ? කතානායක කරන්නේ කුමක්ද ? ඔඩිටර් ජනරාල් කරන්නේ කුමක් ද ? බලධාරීන් ඒ ගැන සොයා නොබලන්නේනම්, ඒ සඳහා පරීක්ෂණ කොමිසමක් පත් නොකරන්නේ නම්, මහජන පරීක්ෂණ කොමිෂන් සභාවක් ඇති කරගැනීම මගින් හෝ ඒ ගැන සොයා බලන තැනකට යා යුතූය









 සබැඳි පුවත්

පාවෙල් ඉවානොවිච් චිචිකොෆ් එන්. නමැති නගරයට පැමිණෙයි..!

‘‘හඬපට ප්‍රසිද්ධ කරන්නේ කුඩු නාලිකාවක්‘‘ - රන්ජන්

බ්‍රෝදීලා හා යුවල් නෝවා හරාරිගෙන් උගනිමු