72 වන නිදහස් සැමරුමට සියල්ල සූදානම්


72 වන නිදහස් සමරු උළෙල ‘සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්‘ යන තේමාව යටතේ අතිඋත්කර්ෂවත් අන්දමින් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන බවත් මෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් නිදහස් සමරු උළෙල පිළිබඳ දැනුවත් කිරීමට අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේය.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා නිදහස් උළෙලේ සංවිධානාත්මක කටයුතු ගැන කළ පැහැදිලි කිරීම මෙසේය.

එළඹෙන පෙබරවාරි 2 වැනිදා 3 වැනිදා සවස් වනතෙක් නිදහස් මන්දිරයේදී පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් හා විශේෂ ආරාධිත අමුත්තන් මීට සහභාගීවීමට නියමිතය. පෙබරවාරි 3 වැනිදා හීල් දානය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් පෙ.ව. 7. 00 ට කොළඹ, අතුරුදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේදී පිළිගැන්වීමට නියමිතව තිබේ.

නිදහස් සැමරුමට සමගාමීව පෙබරවාරි 4 වැනිදා ආගමික වතාවත් සිදුකෙරෙන්නේ මෙලෙසිනි.

බෞද්ධ ආගමික වතාවත් බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ සම්බන්ධීකරණයෙන් පෙ.ව. 6. 30ට කොල්ලුපිටිය, ධර්මකීත්‍යාරාම විභාරස්ථානයේදී ද හින්දු ආගමික වතාවත් කොළඹ 06, හින්දු ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් මයුරාපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේදී පෙ.ව. 6.30ට පැවැත්වීමට නියමිතය. කතෝලික ආගමික වතාවත් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් පෙ.ව. 6.15ට බම්බලපිටිය, ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්වෙනු ඇත.

ක්‍රිස්තියානි ආගමික වතාවත් පෙ.ව. 6.15ට බගතලේ පාර, බැප්ටිස්ට් දේවස්ථානයේදී ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් සිදුකිරීමට නියමිතය. ඉස්ලාම් ආගමික වතාවත් මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 6.25ට කොල්ලුපිටිය ජුම්මා මස්ජිදයේද පැවැත්වීමට නියමිතය.

ආරාධිතයින් 2500 ක පමණ ද මහජනතාව 1000 ක පමණ පිරිසක් මීට දායකවනු ඇති බවත් ඔවුන්ට අදාළ පහසුකම් සපයාදීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලියට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් 4325 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් 868 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 815 දෙනෙකු, ශ්‍රී ලංකා පොලීසියෙන් 1382 දෙනෙකු, සිවිල් ආරක්ෂක බලකායෙන් 515 දෙනෙකු සහභාගී වේ. ජාතික ශිෂ්‍යභට බලකායෙන් 355 දෙනෙකු සහභාගී වීමට නියමිතය. පාසල් සිසුන්ගේ දායකත්වයෙන් ජාතික ගීය ගායනා කෙරෙනු ඇත.

සංස්කෘතික පෙරහැරට ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, පළාත් සභා හා සංස්කෘතික මධ්‍යස්ථාන නියෝජනය කරමින් නර්තන හා වාදන ශිල්පීන් රැසක් ද සහභාගීවීමට නියමිතය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ඇත.

හෙට (31) ‍ පෙබරවාරි 1, 2, 3 යන දිනවලදී ද නිදහස් උළෙලේ පෙරහුරු පැවැත්වීමට නියමිතය. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ගුණ සමරුව සුපුරුදු පරිදි නිදහස් දින චතුරස්‍රයේදී පෙබරවාරි 4 වැනිදා උදෑසන 8.08 ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු  ඇත.

පෙබරවාරි 1 – 7 වැනිදා දක්වා සතියක කාලසීමාවක් නිදහස් සමරුවට සමගාමී වැඩසටහන් පැවැත්වෙනු ඇත. රජයේ ගොඩනැගිලි වල ජාතික කොඩිය එසවීම හා පෙබරවාරි 3 හා 4 දිනවල විදුලි ආලෝක අලංකරණය සම්බන්ධයෙන් සියලු රජයේ ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.

නිදහස් සැමරුමට ග්‍රාම නිළධාරීන්ද සම්බන්ධ කරගෙන සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණ වන පරිදි නිදහස් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්ද දියත් වනු ඇත. ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් නිදහස් සැමරුමට පෙළගැසෙන ලෙස ලක්වාසී සියලු ජනතාවට ආරාධනා කර සිටින බව ද අමාත්‍යවරයා පැවසුවේය.