සමුද්‍රීය කර්මාන්තයේ විශේෂඥයෙකු ධීවර වරාය සංස්ථාවේ සභාපති පුටුවට

ලංකා ධීවර වරාය සංස්ථාවේ සභාපති ලෙස කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා පත් කොට තිබේ. ඒ මහතා තම නව තනතුරේ රාජකාරී කටයුතු පසුගිය බදාදා දිනයේදී ආරම්භ කළේය. මෙම පත්වීමට පෙර ඔහු 1990 සිට 2015 දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, හාබර්මාස්ටර්, මෙහෙයුම් අධ්‍යක්ෂ සහ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස සේවය කර ඇත.

1970 සහ 1980 දශක වලදී ඔහු සාමාන්‍ය භාණ්ඩ, තොග, බහාලුම්, තෙල් සහ ගෑස් ටැංකි වැනි මුහුදු නැව් විශාල ප්‍රමාණයක මෙහෙයුම් වලදී කපිතාන් ලෙස සේවය කොට ඇති ඔහු සමුද්‍රීය කරමාන්තය ගැන හසල දැනුමැත්තෙකු ලෙස ප්‍රකටය.



මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සේවය කිරීම අත්‍යවශ්‍ය බැවින් ජාත්‍යන්තර ග්‍රීන්ෆීල්ඩ් බහාලුම් පර්යන්තයක ප්‍රධාන විධායක නිලධාරී ධුරය භාර ගැනීම සඳහා ජාත්‍යන්තර වරාය මෙහෙයුම්වල යෙදී සිටින ප්‍රධාන ජාත්‍යන්තර සමාගම් සමූහයක් විසින් මෑතකදී කරන ලද යෝජනාවක් ඔහු විසින්  බැහැර කළ බව, නව පත්වීම ගැන ඔහුගෙන් විමසූ විට අවස්තාවේදී සඳහන් කළේය.

ලංකා ධීවර වරාය සංස්ථාව 1972 දී පිහිටුවන ලදී. එය ධීවර වරායන් ආශ්‍රිත ගුණාත්මක සේවාවන් සැපයීම සහ ධීවර ප්‍රජාවට නවීන යටිතල පහසුකම් හා අනෙකුත් පහසුකම් සැපයීම පිළිබඳ මූලික වගකීම දරන ප්‍රධාන රාජ්‍යය ආයතනය වේ.  වර්තමානය වන විට ශ්‍රී ලංකාව පුරා සක්‍රීය ධීවර වරායන් 22ක් ඇති අතර තවත් ධීවර වරායන් 15 ක් නිර්මාණය කිරීම සඳහා සැලසුම් කොට ඇත.