ලාංකික කාන්තාවන් හා ගැහැණු ළමයින් වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනගමු



කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලොව වඩාත් ම ව්‍යාප්ත වී තිබෙන මානව හිමිකම් උල්ලංඝනයයි. ප්‍රචණ්ඩත්වයේ පිරිවැය ඉතා අධික ය. රටට සිදුවන ඍජු වියදම් මෙන් ම ප්‍රචණ්ඩත්වයෙන් බේරුණු අය සහ පරම්පරා ගණනාවක් පුරා ඔවුන්ගේ ප්‍රජාවන් විසින් දරන්නට සිදුවන අප්‍රකාශිත වියදම් ද ඒ අතර වේ. මෙම බරපතල ප්‍රශ්නය පිටුදැකීම සඳහා කෘර යථාර්ථයන්ට මුහුණ දී දිවි ගලවා ගන්නන් සමග සේවය කරන බිම් මට්ටමේ සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්‍රයත්නයන් අත්‍යවශ්‍ය ය.

අවුරුදු 25කට පෙර කයිරෝහිදී පැවැත්වුණු ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේදී (ICPD) ලෝක නායකයන් කාන්තා හිමිකම් ජනගහන සහ සංවර්ධන ප්‍රතිපත්තිවල මධ්‍යයේ ම තිබිය යුතු බව පිළිගත් හ. මෑතදී නයිරෝබිහිදී නිමා වූ ICPD 25වන සංවත්සර සමුළුවේදී ශ්‍රී ලාංකාව ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම පිණිස සෞඛ්‍යාරක්ෂාව වැඩිදුරටත් ශක්තිමත් කිරීමට කැප විය. ඒ අනුව, ප්‍රචණ්ඩත්වයෙන් බේරුණු පුද්ගලයන් සඳහා ‘මිතුරු පියස’ මධ්‍යස්ථාන සහ ආරක්ෂිත නිවාස හරහා සත්කාර සම්පාදනය පුළුල් කරනු ලැබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂාව සපයන්නන්ගේ හැකියාවන් සංවර්ධනය කිරීම ඉතා වැදගත් ය එයට හේතුව වන්නේ, ජනතාව සහ ප්‍රතිපත්ති අතර මූලෝපායික සම්බන්ධතා පුරුකක් ලෙස මෙම නිලධාරීන් සේවය කිරීමයි.

මෙම දෘෂ්ටිය මත පිහිටා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ කළමනාකරණය සඳහා සෞඛ්‍ය අංශයේ ප්‍රතිචාර’ නමින් සම්පත් පැකේජයක් දියත් කරන ලදී. එය සම්පාදනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහයෝගය පිරිනමන ලදී. 

මෙම පැකේජය නිල වශයෙන් දියත් කිරීමේ උත්සවයේදී මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා මෙසේ පැවසුවා ය: “සෞඛ්‍ය අංශය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය නම් ගැටලුව සලකා බලන්නේ සේවා දෘෂ්ටිකෝණයකින්. මෙම ප්‍රශ්නය බහුආංශික ප්‍රවේශයකින් ද සලකා බැලිය යුතුයි. ආකල්ප සහ භාවිතාවන් වෙනස් කිරීමෙහිදී සෞඛ්‍ය අංශය තුළ හා විවිධ අංශ අතර සම්බන්ධීකරණය ඉතා වැදගත් වෙනවා.”

සෞඛ්‍ය සත්කාර සම්පාදකයන් සඳහා චර්යාවන් වෙනස්කිරීමේ සන්නිවේදන අත්පොතක් සහ ප්‍රමිතිගත මෙහෙයුම් පටිපාටි (SOPs) සහ මාර්ගෝපදේශ ද දියත් කරන ලද පැකේජයට ඇතුළත් වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් බේරුණු පුද්ගලයන්ට සම්බන්ධීකරණය කරන ලද හා ප්‍රමිතිගත ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමේ ලා සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිචාර වැඩිදියුණු කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට උපකාර කිරීම හා මාර්ගෝපදේශ සැපයීම පිණිස මෙම මෙවලම් කට්ටලය ඉතා වැදගත් වේ. මෙම ජීවිතය වෙනස් කරන මෙවලම් සංවර්ධනය කරනු ලැබුවේ, අත්‍යවශ්‍ය සේවා පැකේජයේ සෞඛ්‍ය අංශයේ මොඩියුලයට අනුකූලව ය. එය වනාහි ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන්ට සහ බේරුණු පුද්ගලයන්ට ප්‍රතිචාර දැක්වීමේ යහභාවිතාවන් මත පදනම් වූ ජාත්‍යන්තර මාර්ගෝපදේශයකි. 

කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහිව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්ව සිදුවීම් කිසිවක් සිදු නොවන බව තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කැපවීම අවධාරණය කරමින්, සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකෙන් මහත්මිය මෙසේ පැවසුවා ය: “බොහෝ කාන්තාවන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් නිහඬව පීඩාවිඳිනවා. එයට හේතුව, ඒ ගැන කතාකිරීම අපකීර්තිමත් ක්‍රියාවකැයි සමාජයේ තිබෙන ආකල්පය සහ සංස්කෘතික සංකල්පයි. එහි ප්‍රතිඵලයක් ලෙස, සිදුවීම් වාර්තා වන්නේ නැහැ. පීඩාවට පත් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට අවශ්‍ය සත්කාර සහ සහයෝගය ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය අංශයේ නිලධාරීන් එවැනි සංවේදී තත්වයන් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නිසි කුසලතාවලින් සන්නද්ධ කිරීම ඉතා වැදගත්.” 


ප්‍රශ්නය කෙරෙහි සංවේදීතාව ඇතිකිරීමේ ක්‍රියාකාරකම් සහ සෞඛ්‍ය අංශයේ විශේෂඥයන් සහභාගි වූ සාකච්ඡා මණ්ඩපයක් ද මෙහිදී පැවැත්විණි. ප්‍රජාවන්ට සහ බේරුණු පුද්ගලයන්ට එවැනි කෘරත්වයන් පරාජය කළ හැකි ආකාරය පිළිබඳ, වින්නඹු සේවිකාවන් ඇතුළු බිම් මට්ටමේ කාර්ය මණ්ඩලයේ හැකියාවන් ගොඩනැගීම සඳහා අත්පොතක ප්‍රයෝජනය හා වැදගත්කම පිළිබඳ ඔවුහු කතා කළ හ. 

2030 වසරේ තිරසර සංවර්ධන න්‍යායපත්‍රය අනුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු සියලු අරමුණු හරහා යන වැදගත් කරුණකි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ මූලික හේතු මුලිනුපුටා දැමීම සඳහා හදිසි ක්‍රියාමාර්ග අවශ්‍ය ය.