ජනමාධ්‍යවේදීන්ට පහරදීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකියි



පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ වාර්තාකරණයෙහි නියැලෙමින් සිටි මාධ්‍යවේදීන්ට එරෙහිව පොලිසිය හා විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරින් සිදු කළ බාධා කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම සිදුවීම් පිළිබඳව නිසි පරීක්ෂණ පවත්වා යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙස අදාල බලධාරින් ගෙන් දැඩිව ඉල්ලා සිටී.  

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා දෙසැම්බර් 18 වනදා රාත්‍රියෙහි කොළඔ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ට සිය වාර්තාකරණයේ යෙදීම අවහිර කරමින් පොලිසිය ක්‍රියාකර ඇති අතර පසු දින (19) මන්ත්‍රීවරයා එම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාව වාර්තා කිරීමට ගිය ඡායාරූප මාධ්‍යවේදීන් දෙදෙනකු  එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූ මංජුල පෙරේරා නමැති අයගේ පහර කෑමට ගොදුරු වි තිබේ. එම ප්‍රහාරයට ලක්වු ලේක්හවුස් ඡායාරූප මාධ්‍යවේදීන් දෙදෙනා ගෙන් එක් අයෙක් රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබන අතර කෙසෙල්වත්ත පොලිසිය පහරදීමට වගකිව යුතු අය අත්අඩංගුවට ගෙන පරික්ෂණ පවත්වන බව වාර්තාවේ. 

දේශපාලන පක්ෂග්‍රාහිත්වයෙන් තොරව මෙම සිදුවීම් දෙක පිළිබඳව පරික්ෂණ පවත්වා අගතියට පත් මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී. 

මෙම අවස්ථා දෙකේදීම අවහිරව තිබෙන්නේ ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතියයි. එය නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. එබැවින් මෙම තත්ත්වය කෙරෙහි දැඩි අවධානය යොමු කොට යළි මෙවැනි සිදුවීම් ඇති නොවිමට වගබලා ගැනීම රජයේ සහ අදාල වගකිවයුතු අංශ වල මෙන්ම  විපක්ෂය ඇතුලු සියලු දේශපාලන බලවේග වලද වගකීම බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටි.