TISL දේශපාලනිකව අනාවෘත පුද්ගල තොරතුරු ජනගත කරයි


ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, දේශපාලනිකව අනාවෘත පුද්ගලයන් පිලිබඳ අන්තර්ජාලයිය තොරතුරු ලේඛනය අද දින දියත් කරනු ලැබූ අතර, www.peps.lk වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු වලට පිවිසිය හැකිය. TISL ආයතනය විශ්වාස කරන්නේ නිශ්චිත කාලයකට වරක් යාවත්කාලීන කරනු ලබන මෙම තොරතුරු ලේඛනය නැතහොත් දත්ත ගබඩාව, රටේ දේශපාලන බල ජාලයේ සංකීර්ණතා පිළිබිඹු කරන වැදගත් මෙවලමක් ලෙස මෙය ක්‍රියා කරනු ඇති බවයි. 

"දේශපාලනිකව අනාවෘත පුද්ගලයෙක්" යන්න "මුල්‍යමය ක්‍රියාකාරකම් පිලිබඳ කාර්ය සාධක බලකාය (FATF) " විසින් නිර්වචනය කර ඇත්තේ, "රටේ ප්‍රමුඛ මහජන කාර්යයන් භාර දී ඇති පුද්ගලයෙක්" ලෙසයි. ඔවුන් හොබවන තනතුරු සහ ඔවුනට සිදුකළ හැකි බලපෑම හේතුවෙන්, බොහෝමයක් දේශපාලනික වශයෙන් අනාවෘත පුද්ගලයන්ගේ තනතුරු, දුෂණය හා මුදල් විශුද්ධිකරණය වැනි ක්‍රියාවන් සඳහා අවභාවිතා වීමේ නැඹුරුතාවයක් පවතින බැව් හඳුනාගෙන ඇත. 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ, අසෝක ඔබේසේකර පැවසුවේ, දේශපාලනික වශයෙන් අනාවෘත පුද්ගලයන් හදුනාගැනීම සහ ඔවුන් පිලිබඳ දැඩි අධීක්ෂණයක් සිදු කිරීම ඕනෑම බැංකුවක සාමාන්‍යයෙන් සිදු කෙරෙන ක්‍රියාවලියක් බව මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු බවයි. එමෙන්ම, යම් තැනැත්තෙකු දේශපාලනිකව අනාවෘත වූ පමණින්ම එම පුද්ගලයා වැරදි ක්‍රියාවන්හි නිරත වන්නේ යැයි අදහස් නොවන බවත් එය ඔවුන්ගේ ප්‍රමුඛ රාජ්‍ය සේවයේ පිළිබිඹුවක් වන බවත්ය. 

මෙම දත්ත ලේඛනය තුළ ප්‍රසිද්ධ කර ඇති තොරතුරු එක් රැස් කරගනු ලැබුවේ, මහජනතාවට විවෘතව ඇති තොරතුරු මාර්ගයන් සහ තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත් 88 ක් යොමු කිරීම හරහා ලබාගත් තොරතුරු මාර්ගයෙනි. මෙම දත්ත ලේඛනයට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන්, විනිසුරුවරුන් හා රාජ්‍ය ව්‍යවසායයන්හි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් ගෙන් සමන්විත, පුද්ගලයන් 2,324 කගේ තොරතුරු ඇතුලත් වේ.  

තවදුරටත්, රාජ්‍ය ව්‍යවසායයන් ජාලය හඳුනා සිතියම් ගත කොට ඒවායේ විධායක නිලධාරීන් සහ උපව්‍යුහයන් හඳුනා ගන්නා එකම දත්ත ගබඩාවද මෙය වේ. මෙම තොරතුරු ලේඛනය නාගරික කොමසාරිස්වරුන් සහ පළාත් පාලන ආයතනයන්හි ප්‍රධානීන් වැනි සාමාන්යෙන් මෙවැනි නිරීක්ෂණයන්ට භාජනය නොවන ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනික අනාවෘත පුද්ගලයන්ගේ තොරතුරු ද ඇතුලත් වේ. 

අසෝක ඔබේසේකර අවසාන වශයෙන් පැවසුවේ, "අපි මාධ්‍ය ආයතනයන්ට, බැංකු ක්ෂේත්‍රයට, මහජනතාව සහ අනෙකුත් පාර්ශවයන්ට දන්වා සිටිනවා මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වී, රාජ්‍ය ව්‍යුහයන් හා ඒවා පරිපාලනය කරන   පුද්ගලයින් පිළිබඳව වඩා හොදින් දැනුවත් වන ලෙසට" යන්නයි.