ශානි අබේසේකරගේ ස්ථාන මාරුව ගැන යළි සලකා බලන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලයි



ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට ලබාදුන් හදිසි  ස්ථාන මාරුව සම්බන්ධයෙන් යලි සලකා බලන ලෙස පසුගියදා (25) ජාතික පොලිස් කොමිසන් සභාව වෙත ලිපියක් යොමුකරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටියේය. 


අදාළ ලිපියේ දක්වා තිබෙන්නේ, 


''මෙරට ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට පසුගිය 21 වන දා හදිසි ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම දැඩි අවධානය යොමු කොට තිබේ. එසේම මෙය දේශපාලන උවමනාවක් මත සිදු කර ඇතැයි එල්ල වන චෝදනාව ස්වාධීන කොමිෂන් සභාවක් වශයෙන් ජාතික පොලිස් කොමිසමේ අවධානයට යොමු විය යුතු කරුණක් බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි. ඒ අනුව මෙම ස්ථාන මාරුව හේතු කොට ගෙන ඉහත විමර්ශන කටයුතු සඳහා වන බලපෑම් හා  බාධාවන් ද සැලකිල්ලට ගෙන මෙම හදිසි දී මාරු කිරීමේ දී කිසියම් අයුතු මැදිහත්වීමක් සිදුවි ඇත්දැයි සොයා බලා එම තත්ත්වය   නිවැරදි කිරීම පිණිස නිසි පියවර ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු. 

මෙරට ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම බලපෑම් කර තිබේ. එවැනි අපරාධ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මෑත විමර්ශන කටයුතු සිදු කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ උපදෙස් හා මෙහෙයවීම යටතේය. සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම, නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයර් පැහැර ගෙන ගොස් වධහිංසා පමුණුවීම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දී පැහැර ගැනීමට උත්සාහ කිරීම ආදි සිදුවීම් මේ අතරින් ප්‍රධානය.     
                                                                                                               
මෙරට මාධ්‍ය නිදහසට දැඩි බලපෑමක් එල්ල කළ ඉහත සිදුවීම් සම්බන්ධයෙන් සිදුවන පරික්ෂණ බාධාවකින් තොරව ඉදිරියට ගෙන යා යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි. ශානි අබේසේකර මහතාට ලබා දී ඇති ස්ථාන මාරුව ඉහත විමර්ශන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී බලපෑමක් හා බාධාවක් වන බැවින් එම බාධාවන් ඉවත් කොට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට මැදිහත් වන ලෙස හා ඊට ඉවහල් වන පරිදි නිසි පියවර ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු.'' යන්නයි 
                                                            




සබැඳි පුවත්