‘‘ඉහළම විනය සහතික කරන්න කැපවෙනවා‘‘ - ශවේන්ද්‍ර සිල්වා

හමුදා සහ යුදමය ගැටුම් පිළිබඳ ඉන්දියානු ආරක්‍ෂක විශ්ලේෂකයෙකු ලෙස සැලකෙන ගොඛ්ලේ ඉකුත් සෙනසුරාදා (23) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ පැවති සාකච්ඡාවේදී නව ජනාධිපතිවරයා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පැවරි ඇති සුවිශේෂි කාර්යභාර්ය පිළිබඳව සිය ඉදිරි දැක්ම පැහැදිලි කළේය.

වර්ෂ 2009 දී මානුෂීය මෙහෙයුම අවසන් වීමත් සමඟ යුද හමුදාව පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසා වෙහෙස නොබලා කටයුතු කළ ආකාරය සහ පශ්චාත් යුද සමයේ ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපෘති මෙන්ම සංවර්ධනය සඳහා දැක්වූ කැපවීම සහ සහයෝගීතාවය පිළිබඳ යුද්ධ හමුදාධිපතිවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කළේය. තවද නව ජනාධිපතිවරයාගේ දැක්ම අනුව ත්‍රිවිධ හමුදාව ඊට අඛණ්ඩව සහාය ලබා දෙන බවට ද එතුමන් එහිදි අවධාරණය කළේය. තවද උද්ගතව ඇති තත්ත්වයන් හදුනාගෙන සාම්ප්‍රදායික නොවන තර්ජන සහ වෙනත් අභියෝගයන්ට මෙන්ම අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවක තම හමුදාව සූදානම් කර තැබීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳවද කෙටි පැහැදිලි කිරිමක් සිදු කළේය.

සම්මුඛ සාකච්ඡාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තම සංවිධානය මගින් සිදු කරනු ලබන ජාතික ආරක්ෂාව, ජාතිය ගොඩනැගීම, ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය, නිපුණ වෘත්තීයභාවය සහ වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීම මගින් යුද හමුදා සාමාජිකයින්ගේ සහ පවුල්වල සුභසාධනය මෙන්ම හමුදා නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ විශ්‍රාම ගැන්වීමේ කටයුතු ප්‍රමුඛත්වයක් මත සිදු කිරිම තම අපේක්‍ෂාව බවයි.

තවද තම සංවිධානයේ සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවට ද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා එහිදී තරයේ කියා සිටියේය.