ගොඩ ඒමට නම් බොළඳ ගැටුම් නවත්වා මැතිවරණයට සූදානම්වන්න

මහා සමුළු පවත්වා බොරු කීම නොව කණ්ඩායම් රැස්වීම ( පොකට් මීටින්) ආදීය පැවැත්වීම මෙන්ම කොන්ද කඩා දමා ඇති ප්‍රාදේශීය නායකයින් පෙළ ගැස්වීම ඉතාම වැදගත් වේ.

කතුවැකිය

සජිත් ප්‍රේමදාස මහතා යන්තමින් හෝ තම පක්ෂය  ගොඩ දැමුවේය. ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුයේ නම්,  ලැබුණු  ඡන්ද ප්‍රමාණය තවත් ලක්ෂ ගණනකින් අඩුවනු ඇත. සජිත් යනු පරාජිතයෙක් නොවේ. එසේම ඔහු ප්‍රතික්ෂේප වූ මිනිසෙකුද නොවේ. නමුත් ඔහු අදට අයත් මිනිසෙකු නොව හෙට දිනට උචිත දේශපාලනඥයෙකි. ඔහු ඒ වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. 

සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව පරාජයට පත්වීමට හේතුව වෙන කිසිවක් නොව, ඇතුළත ගිනි පිටට දීම සහ පිටත ගිනි ඇතුලට ගෙන ඒමය. තමන්ට ලැබුණු ධූර කාලය තුළ උපරිම සේවයක් කිරීම වෙනුවට දෙවැනි ධූර කාලයක් ලබා ගැනීම වෙනුවෙන් කුමන්ත්‍රණය කිරීම සඳහා පළමු ධූර කාලය අයාලයේ යැවීම සිරිසේනගේ එකම මූලික රාජකාරිය විය. ඒ වෙනුවෙන් යහපාලන ආණ්ඩුව විසින් නිර්මාණය කරනු ලැබූ අභ්‍යන්තර ගැටුම් වල සැබෑ තත්වය ඕනෑම අයෙකුට දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලැබුණි.  


මහා බැංකුවේ බොන්ඩ් වංචාව යනු, මෙම නායකයින් දෙදෙනාගේ පැවති කුළල් කා ගැනීම සමාජය ඉදිරියේ සාධාරණීකරණය කිරීම සඳහා භාවිතා කළ වෙස් මුහුණක් පමණි. මේ බොන්ඩ් වංචාව සහ හිටපු මහා බැංකුවේ අධිපති නිවාඩ් කබ්රාල් විසින් සිදු කළේ යැයි කියන ග්‍රීක් බොන්ඩ් වංචාව අතර වෙනසක් ඇත්තේ නම් ඒ ඇත්තේ වටිනාකමෙන් පමණි. සිරිසේන විසින්, තමන්ට සහයෝගය දුන් සගයා එළවා දමා ජයග්‍රහණයෙන් පසු ඔහුගේ පැත්තට විපක්ෂයෙන් පැමිණි පිරිස සමග වෙනම දේශපාලනයක් කිරීමට උත්සහ කළේය. වික්‍රමසිංහ තම සගයින් සමග වෙනම වැඩපිළිවෙලක් දියත් කළේය. එහි ප්‍රතිඵලය ලෙස  දිනෙන් දින අර්බුදයට ඇදුනු ආණ්ඩුවක් නිර්මාණය විය. 

යහපාලන ආණ්ඩුවේ ඇත්ත අර්බුධය මූලික වශයෙන් නාභිගත වී තිබුනේ සිරිසේන ජනාධිපතිවරයා සිහින දුටු දෙවැනි වාරයටය. එසේම අනෙක් පසින් වික්‍රමසිංහ, දූෂිතයින්ට, මිනීමරුවන්ට, සහ වංචාකාරයින්ට එරෙහිව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම වෙනුවට තම සගයින් බේරා ගැනීමට සෑම අංචියක්ම අදිනු ලැබීය. මේ නිසා අවුරුදු පහක් තිස්සේ නටපු නාඩගම විහිළුවක් බවට පත්විය. එය ඉතාම නිවැරදිව භාවිතා කරනු ලැබූ, ගෝඨාබය රාජපක්ෂ මහතා තම අරමුණ  දිනා ගත්තේය. 

එක්සත් ජාතික  පක්ෂය ඇතුළු සන්ධානය යළිත් නීරස පාඩමක් ඉගෙන ගෙන ඇත. නමුත්, මෙය පාඩමක් බවට පත් කර ගෙන සිදු වූ වැරදි වලින් ඉගෙන ගැනීමට හැකියාවක් ඔවුහුට තිබේ නම් පක්ෂයට සහ රටට යහපත් කාලයක් උදා වනු ඇත. ඊට ඇති එකම විසඳුම තවත් සති කිහිපයකින් පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සඳහා දැන්ම සූදානම් වීමය.  

මහා සමුළු පවත්වා බොරු කීම නොව කණ්ඩායම් රැස්වීම ( පොකට් මීටින්) ආදීය පැවැත්වීම මෙන්ම කොන්ද කඩා දමා ඇති ප්‍රාදේශීය නායකයින් පෙළ ගැස්වීම ඉතාම වැදගත් වේ. එසේම., ජනාධිපතිවරණයේදී  උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාත් වලින් ලැබුණු බලය එලෙසම පවත්වා ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වේ. තම පාලන කාලය තුළදී සිදු වූ වැරදි පාපොච්චාරණය කිරීම සහ වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සමග කටයුතු කිරීමට හැකි ශාඛ්‍යතාවය ජනතාව හමුවේ ඔප්පු කිරීමට එජාපය සමත් වුවහොත්, එය නවමු ආකාරයක ආණ්ඩුකරණයක් බවට පරිවර්තනය කිරීමට අවස්තාව ලැබෙනු ඇත. අඩුම තරමින් ශක්තිමත් විපක්‍ෂයක් බවට පත්විය හැකිය. 

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ යටතේ අගමැතිධූරය දැරිය යුත්තේ සජිත් ප්‍රේමදාස හෝ පාඨලී චාමික රණවක බව ජනතාව තීන්දු කළහොත් උදා විය හැකි ආකර්ශනීය දේශපාලන තත්වය කෙබඳු විය හැකිද? මේ නිසා කැතකමින් සහ මාන්නයෙන් පිරිණු එකිනෙකාට චෝදනා කර ගන්නා  ගති මුලිනුපුටා දමා, එළඹෙන මැතිවරණයට සූදානම් විය යුතුව ඇත. බොළඳ  අභ්‍යන්තර ගැටුම් නවත්වා වැටුණු තැනින් ගොඩ එන්න ජනතාවගේ විශ්වාසය දිනා ගත යුතුව ඇත. එවිට පක්ෂය පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වනු ඇත.