කේ. එම්. රාසූල්ගේ සේවය අත්හිටුවීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී



ට්‍රයිමාස් මීඩියා සමාගමට අයත් කැපිටල් එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ දමිළ ප්‍රවෘත්ති සංස්කාරක කේ.එම්. රාසූල්ගේ සේවය විධිමත් අභ්‍යන්තර පරික්ෂණයකින් තොරව අත්හිටුවීම නිදහස් මාධ්‍ය  ව්‍යාපාරය විසින් තරයේ හෙළා දකියි.

ආයතන ප්‍රධානියා විසින් ඔක්තෝබර් 16 වන දින කැඳවන ලද රැස්වීමකදී, ප්‍රවෘත්ති සංස්කරණය සම්බන්ධයෙන් මතභේදයක් ඇති වු බවත්, එම අවස්ථාවේදි  තමාට පහර දි කාමරයෙන් පිටතට එලවා දැමු බවත්, පසුදින තම සේවය අත්හිටුවීමේ ලිපියක් ලබා දුන් බවත් රාසූල්  පවසයි.

ආසන්න හේතුව එය වුවද ඔහු පවසන අන්දමට මේ පසුබිමෙහි වෙනත් කරුණු කිහිපයක් තිබේ. රාසූල්ට අනුව කැපිටල් එෆ්.එම්. නාලිකාව මැතිවරණ සමයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශේෂ අනුග්‍රහයක් දක්වන ප්‍රවෘත්ති පළ කරන මෙන් ඉල්ලා  ඇත. එම ඉල්ලීම නොසලකා සමබර පුවත් වාර්තා කිරීමට තමා පියවර ගත් බවත්, එසේම තම සේවා ගිවිසුම නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ ගැටලුවක් ද තිබූ බවත් ඔහු පවසයි. කෙසේ වෙතත් අත්තනෝමතික ලෙස සේවය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදියා ගේ වෘත්තීය ආරක්ෂාව හා ස්වාධීනත්වය හානියට  පත්ව ඇත. 

රාසුල් සම්බන්ධ සිදුවීම පොදුවේ මෙරට මාධ්‍ය ආයතන තුල පවතින අසතුටුදායක තත්ත්වය හා සමාජ වගවීමක් සහිත ආචාරධාර්මික මාධ්‍ය භාවිතයකට ඇති  තර්ජනය පිළිබඳ ප්‍රබල සංඥාවක් වශයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි. විශේෂයෙන් මැතිවරණ සමයේදී මෙහි බලපෑම වඩාත් උග්‍රවේ. 

එසේම දිගු කාලීනව මෙරට මාධ්‍ය කර්මාන්තයේ පවතින හිමිකාරිත්වයේ අනිසි බලපෑම් පිළිබඳ ගැටලුව ද මෙමගින් යලි මතු වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි. 

රාසූල් මේ වන විට පොලිසියට හා කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට ඇත. එම පරික්ෂණ විධිමත්ව ඉටු කරමින් මෙම මාධ්‍යවේදීයාට සාධාරණත්වය ඉටු කිරීමට  පියවර ගන්නා ලෙසත්, පොදුවේ මෙරට මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික් සහ අන්තර් ජාල මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට සිය කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය සහතික කිරීමට වගබලා ගන්නා ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුත්තන් ගෙන් ඉල්ලා සිටි.