- මහේෂ් හපුගොඩ -
ගෝඨාබය ගැන පොරොත්තු වීමක් අප කළ යුතුව ඇත
උතුර සහ දකුණ යනුවෙන් ඉතාම ගැඹුරු ලෙස ධ්‍රැවීකරණය වූ දේශයක ගෝඨාබය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණය ඉහල පරතරයක් සහිතව ජයගෙන ඇත. ජනතාව හමුවේ ඔහු තැබූ වැඩපිළිවෙලක් ඇත. එය ජනතාව අනුමත කර ඇත. එනිසා වමේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දක්ෂිණාංශික පිරිස් යම් නොනගත කාලයක් පවත්වා ගෙන යා යුතු යැයි මම මෙහිදී යෝජනා කරමි. මේ නොනගත කතාව මා ණයට ගන්නේ මහාචාර්ය නලින් ද සිල්වා ගෙනි. ආවා වූද නාවා වූද නිමේෂයක දැන් අප සිටිමු. ගෝඨාබය මහතා පැමිණ ඇති බැවින් මෙය ආවා වූ මොහොතක් වන අතර ඔහුගේ වැඩ පිළිවෙල තවම අප නොදන්නා හෙයින් නාවා වූ මොහොතක් ද වෙයි. යම් පොරොත්තු වීමක් අප කළ යුතුව ඇත.
ඡන්ද ලක්ෂ දහ හතරක් පමණ ප්‍රමාණයකින් ජනාධිපති වරණය දකුණේ ඡන්ද වලින් පමණක් ජය ගැනීම කුමන තත්වයක් යටතේ වුවද 'සිද්ධියක්' (event) වන අතර සිංහල බෞද්ධ ජනතාවගේ යම් සත්‍යයක් ඒ තුළින් නිරූපණය වීම අප මඟ හැරිය යුතු තත්වයක් නොවේ. මන්ද ඇලන් බදිව් ට අනුව ඕනෑම සිද්ධියක් තුල යම් සත්‍යයක් ගැබ්ව ඇති බැවිණි. මේ ඉස්මතු වීම ගැන මා ඇල්පිටිය චන්දයෙන් පසු මුහුණු පොත් සටහනක් තබන ලදී. ඇල්පිටියේ ප්‍රතිපලයෙන් අද ප්‍රතිපලය වෙනස් වූවේ නම් ඒ ඉතා මඳ වශයෙනි. ඒ ද උතුරු නැගෙනහිර සහ ලංකාවේ අනෙක් පළාත්වල සුළු ජාතික චන්ද නිසාය.
මේ ප්‍රතිඵලයේ කිසිදු පුදුමයක් නැත
අන් සියල්ලටම වඩා දැවැන්ත හැරවුම් ලක්ෂයක් වූවේ පාස්කු ඉරිදා ප්‍රහාරයයි. ඇල්පිටිය වනවිට ලංකාව පෙන්නුම් කළේ එහි ප්‍රතිපලයයි. ආපතික කාලයක ජීවත් වන අප මේ යුගයේ අවදානම් ධනවාදයෙන් (risk capitalism) ගැලවෙනු පිණිස ශක්තිමත් පිතෘ මූලික පාලකයෙක් සොයමින් සිටියි. පිතෘ මූලික බව කෙසේ වේවා රටේ සාමාන්‍ය ආරක්ෂාව පවා පවත්වා ගෙන යාමට අසමත් වූ යහපාලන දේශපාලනය සම්පුර්ණයෙන් තම නෛතිකභාවය ඒ වනවිට අහිමි කරගෙන තිබූ අතර ඔවුන් ඇවිදිමින් සිටියේ මා මිට කලින් මුහුණු පොතේ සඳහන් කළ පරිදි ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් වල පෙන්වන පරිදි පෘෂ්ටයෙන් ඔබ්බෙහි අහසේය. මේ මැතිවරණයෙන් පෙන්වා දුන්නේ ඔවුන් ගේ කකුල් යට පොළොවක් නොතිබූ බව පමණකි. ඒ නිසා මේ ප්‍රතිඵලයේ කිසිදු පුදුමයක් මට නැත.
මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ලාංකික වම කුමන ස්ථාවරයක් ඉදිරියේ ගත යුතුද යන්න දැන්ම කිව නොහැකි අතර ජාතික ජන බලවේගය දරුණු පසුබෑමකට ලක්ව තිබීම ද යහපත් සඥාවක් නොවේ. නිසැකවම කිව හැක්කේ නැවුම් අත්හදා බැලීමක් අවශ්‍ය විය හැකි බවයි. එළඹ ඇති ආසියාතික සියවස වෙනුවෙන් චීනය සහ ඉන්දියාව ධනවාදය නව මුහුණුවරකින් තාක්ෂනය ඔස්සේ ගතික කරමින් ඇති අතර දැවැන්ත ආර්ථික වර්ධනයන් ඔවුන් අත්පත් කර ගනිමින් ඇත (ආර්ථික වර්ධන වේගය ගැන මැතිවරණය තුල වඩාත් කතා කළේ එබැවිණි). මේ දිනවල අපේ මිනිසුන් වඩා යෑමට ප්‍රිය කරන්නේ යුරෝපයට නොව කොරියාව ට ය. මේ සියවසේ ධනවාදයේ ෆැන්ටසිය ඔස්සේ යන අපේ පෙරදිග මිනිසුන් වෙනුවෙන් විකල්ප වැඩ පිළිවෙලක් මේ වනවිට අප සතුව නැත. මට පෙන්වා දිය හැකි එකම දෙය නම් ආසියාතික ධනවාදයේ මුලින්ම ගමන් ගත් 'සාර්ථක ජාතියක්' වන ජපන් ආත්මයේ බටහිර විගලිත බව පමණකි. එසේ නැත්නම් දැනට පෙන්විය හැකි එකම දෙය දිල්ලි දුවිල්ල හෝ බිජිං දුවිල්ල පමණි. එය ද මේ මිනිසුන් අප වෙත හැරවීමට ප්‍රමාණවත් වන්නේ දැයි නොදනිමි. අපේ මුළු ශක්තිය යෙදුවද චන්ද ලක්ෂ පහක් ගැනීමට අපට නොහැකි වී ඇත. ඒ වගේම අපේ කටවල් කොතරම් හඬ (voice) තිබුණත් වැඩිය ව්‍යක්ත කතා පැවැත්විය නොහැකි ගෝඨාබය ඉහලින්ම ජයගෙන ඇත. මේවා අප සැළකිල්ලට ලක් කළ යුතු කරුණුය.
කිසිවක් කීමට තව කාලය වැඩිය
කෙසේ වුවද එක් යුගයක් සම්පුර්ණ වශයෙන් අවසන් වී ඇත. දැන් එළඹ ඇත්තේ නව යුගයක් දැයි නොදන්නා මුත් එය අප වසර පහක් ගතකළ ඒ යහපාලන යුගය නම් නොවනු ඇත. 19 වන සංශෝදනය ගැනද කතා කිරීම දැන් ආරම්භ කර ඇත. මන්ද සිංගප්පූරු මොඩලය වෙනුවෙන් එය හරියන්නේ නැති බැවිණි. ආසියාතික ධනවාදී මොඩලය සඳහා වෙනස්කම් අවශ්‍යව ඇති සෙයකි. ඒ කෙසේ වුවත් කිසිවක් කීමට තව කාලය වැඩිය.
දේශපාලන පක්ෂ වල ගෝෂාව තුල පංති හැඟවුම් දියාරු වී ඇතැයි බටහිර මාක්ස්වාදීන් පවසන තත්වය අපේ රටේ තත්වයන් ට වඩාත් අදාල වෙමින් ඇත. පංති නැගිටීම් සමාජ අරගල වනවා වෙනුවට ඒවා පක්ෂ තුල ම ඇති ගැටුම් බවට පත්ව ඒවා ඇතුලට කඩා වැටෙමින් ඇති සෙයකි (සජිත් ගේ පරාජය පිටුපස පක්ෂයේ සහයෝගය නොතිබීම නම් ඉහත ප්‍රපංචය වඩා ජිජැකියානු වන්නේ මේ සන්දර්භය තුලය. සමාජ අරගලයක් විය යුතු දෙයක් පක්ෂයේ අභ්‍යන්තර ඝෝෂාවක් බවට පත්ව ඒ තුලම අතුරුදහන් වෙමින් ඇත. එසේ නැත්නම් සුවිසල් අරගලයක් විය යුතු දෙයක් වන සමලිංගිකයින් සහ විෂම ලිංගිකයින් අතර පරස්පරයක් පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් බවට ඌනනය වෙමින් ඇත. කුල වාද සහ ප්‍රාදේශීය වාද වල තත්වය පවා මෙයින් වෙනස් නොවේ. බයියන් සහ ටොයියන් යන විශ්වීය විප්ලවීය පරස්පරය මරි මෝඩ ලෙස පක්ෂ වලට බෙදී ඇති අයුරු සිතන්න. ලිවීමට තව බොහෝ දේ ඇතත් මේ එයට වේලාව නොවේ. අවශ්‍ය බොහෝ දේ මා මීට පෙර ලියා ඇත. දැන් සිදුවන දේ බලාගෙන සිටින කාලයයි.
එළඹ ඇති නොනගත සමය අධ්‍යයනය කටයුතු වෙනුවෙන් කැපකරන්න
මේ යුගයේ සුවිශේෂී බව වන්නේ අපගේ නො නිදහසට භාෂාවක් නොමැති වීම නිසා යැයි කියන්නේ මන්ද යනුවෙන් ඔබට විගසින් තේරුම් යනු ඇතැයි සිතමි. අධිපතිවාදය නිදහසක් ලෙස අර්ථකතනය කිරීමට අප හුරු කර ඇති බව ඔබ නොදන්නවා නොවේ යැයි හඟිමි. ධනවාදයට එරෙහි සියලු ක්‍රම විරෝධීන් සමග අතිනත ගන්නේ නැතිව සමාජවාදීන්ට අනාගතයක් නැත යන ජිජැක් ගේ උදෘතයෙන් මම මේ කෙටි සටහන අවසන් කිරීමට කැමැත්තෙමි. එළඹ ඇති නොනගත සමය අධ්‍යයන කටයුතු වෙනුවෙන් කැප කිරීම වඩාත් යහපත් යැයි සිතමි.
Post a Comment