නව ජනපති ගෝඨාට අපේ සුභ පැතුම්

එළඹෙන මහමැතිවරණය, ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාට ඉතාම තීරණාත්මක මැතිවරණය වනු ඇත


කතුවැකිය

රටේ ජනතාව නව නායකයෙක් තෝරා ගෙන් තිබේ. මෙය අපි විසින් අත්විඳින ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අස්වැන්නය. නව ජනාධිපති ලෙස දිවුරුම් දුන් ගෝඨාබය  රාජපක්ෂ මහතාට අපේ උණුසුම් සුභ පැතුම් පිරිනැමේ. ඔහු තම ජයග්‍රහණය වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී කටයුතු කළ අතර ඊට අවශ්‍යය උපායමාර්ග ඉතාම ප්‍රවේශමෙන් ඉදිකරනු ලැබීය.  එසේම සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පැවති මනෝභාවයන් වලට ආමන්ත්‍රණය කිරීමට මෙන්ම, එය තම ප්‍රතිවාදියාට එරෙහිව ඉතාම සාර්ථකව භාවිතා කිරීමට හෙතම සමත්විය.


පරාජිත පාර්ශවය පමණක් නොව ජයග්‍රාහී පාර්ශවයද මැතිවරණය අවසන් වීමෙන් පසු ලැබුණු ප්‍රතිඵලය මනා සිහියෙන් විමසා බැලීම සහ විශ්ලේෂණය කිරීම ඉතාම වැදගත් වේ. නායකයෙකු පත් කරනු ලබන්නේ රටක් වෙලී සිටින අර්බුධ සහ ගැටලු වලින් නිදහස් වී නිවහල් දේශයක් නිර්මාණය කිරීම වෙනුවෙනි. ජනතාවගෙන් බහුතරය ඔහු කෙරෙහි තබන විශ්වාසය යනු වගකීම් සහ අභියෝග සම්බාරයකි.  ගෝඨාබය රාජපක්ෂ ජනාතිපතිවරයා, තම වැඩිමහල් සහෝදරයාගේ ආණ්ඩුවෙන් සිදු වූ වැරදි මෙන්ම ඉන් පසු බලයට පත් වූ ආණ්ඩුවෙන් සිදු වූ වැරදි ගැන මනා අවබෝධයෙන් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. 

තවත් මාස කිහිපයකින් මහමැතිවරණයක් පැවැත්විය යුතුව ඇත. එසේම පළාත් සභා මැතිවරණයද පැවැත්වීමට තිබේ. මෙම මැතිවරණ සියල්ලම එකම දිනයේ පවත්වන්නේ නම් ඉතා යහපත් විය හැකිය. 

එළඹෙන මහමැතිවරණය, ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාට ඉතාම තීරණාත්මක මැතිවරණය වනු ඇත. ඔහුගේ ධූර කාලයේ සාර්ථකබව තීරණය කිරීමට නියමිත එම මැතිවරණය ඉතාම ප්‍රවේශමෙන් කළමනාකරණය කළයුතු දෙයකි. එහිදී තරග වැදීම සඳහා තම පක්ෂයෙන් හෝ සන්ධානයෙන් නම්කරනු ලබන අපේක්ෂකයින් මත නව ආණ්ඩුවේ දෛවය තීරණය වනු ඇත. 

ගෝඨාබය රාජපක්ෂ මහතා හමුවේ ඇති අභියෝග රාශියකි. එසේම, මීට පෙර ඔහුගේ වැඩිමහල් සහෝදරයා යටතේ පැවති ආණ්ඩුවෙන් සිදු වූ බරපතළ අක්‍රමිකතා මග හරවා ගැනීම මෙන්ම, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳ හිත දිනා ගැනීම අත්‍යවශ්‍යය වේ. නව විධායක ජනාධිපතිවරයා ලෙස ඔහුගේ ප්‍රථම විදේශීය සංචාරය සඳහා ඉන්දියාව තෝරාගෙන ඇත. එය ඉතාම වැදගත් සහ යහපත් තීන්දුවකි. එසේම ඉන්දු-ලංකා සම්බන්ධතා නව මාවතකට රැගෙන යෑම සහ ඔහු විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ සපත කළ පරිදි, නොබැඳි විදෙස් ප්‍රතිපත්තිය මුහත් කිරීම ඉතාම වැදගත් වේ. 

නව ජනාධිපතිවරයා ඉතාම නිවැරදිව සඳහන් කළ ආකාරයෙන් ජයගැනීමට වඩා වැදගත් වන්නේ එම ජයග්‍රහණය පවත්වා ගැනීමට ඇති සඛ්‍යතාව්‍යයි. ඔහු රටේ ජනතාව සහ තමන් ගැන නිවැරදි කියවීමක් ලබා ගෙන ඇතැයි අපි විශ්වාස කරමු. ඔහුගේ ජනාධිපති ධූරකාලය රටේ මේ දකවා පැවති සාර්ථකම ධූරකාලය වේවා යැයි අපි ප්‍රාර්ථනය කරන්නෙමු.