එස්.ටී.එෆ් ආරක්ෂාව නැවත ලබාදෙන්නැයි නූරිය ගම්වාසීන් ජනපතිගෙන් ඉල්ලයි


වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේදී නූරිය ගමට ලබාදුන් එස්.ටී.එෆ් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස  ගම්වැසියන්   අද (21) දිනයේදී ජනපතිට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි. 

මෙමගින් ගම්වැසියන් පෙන්වා දෙන්නේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වූ චම්පික විජේසිංහ හෙවත් අතකොටා හා ඔහුගේ සහචරයින් 18 දෙනෙකුට ලංකාවේ පළමු වතාවට එකවර මරණීය දණ්ඩනය ලබාදීමෙන් පසු එහි පැවති භීෂණකාරී තත්ත්වය පාලනය වූ බවත් ඉන්පසු තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බලකායේ කඳවුරක් ද ගමේ ස්ථාපිත කෙරුණු බවයි. 

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ධූරයේ කටයුතු කරන සමයේදී එම ගමේ මෙන්ම අසල්වැසි ගම්වල පැවති ජාවාරම් ද මැඩලූ බවත් අදාළ විශේෂ කාර්ය බලකා කඳවුර පසුගිය ආණ්ඩුව සමයේදී ඉවත් කර දැමීමත් සමග අතකොටාගේ අනෙකුත් සහචරයින් නැවතත් දාමරික ක්‍රියා වල නිරතවීම ආරම්භ කළ බවත්ය. මෙයට හොඳම උදාහරණය ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පසුගියදා නිමාවූ ජනාධිපතිවරණ දිනයේදී මෙහි ඇතිවූ දරුණු තත්ත්වය නූරිය ගමේ දරුණුම කණ්ඩායම විසින් කළ බවට මැතිවරණ කොමසාරිස්වරයා කළ ප්‍රකාශයයි. 

තමන්ට ජීවත්වීමට ඇති අයිතිය ලබාදෙමින් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් නැවත නූරිය ගමේ ස්ථාපිත කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි