ජනපති ගෝඨාභය කෞතුකාගාර නඩුවෙන් නිදහස්



ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් භාවිතා කිරීම ඇතුළු අධිචෝදනාවලින් ජනපති ගෝඨාභය රාජපක්ෂ නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

ඔහුට පනවා තැබු විදේශ ගමන් තහනම ද ඉවත් කරන ලෙස එහිදී නියෝග කෙරුණි.

අධිකරණය භාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසට එහිදී මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ ය.

පළමු විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ  වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස පෙනී සිටි ඇපකරුවන් සියලුදෙනා නඩුවේ ඇපකාරීත්වයෙන් මුදාහරින ලෙසට ද නියෝග කළ විනිසුරු මඩුල්ල ඔවුන් අධිකරණය හමුවේ තැන්පත් කර තිබූ ඇප මුදල් මුදා හරින ලෙස නියෝග කර තිබේ.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් 6 දෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් ලබන ජනවාරි 9 වැනි දා හෝ ඊට පෙර අධිකරණයට දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසට ද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ. 

නීතිඥ සනත් විජේවර්ධන ගොනුකර තිබූ මෝසමක් අනුව එම නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 එක ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩුවක් ගොනු කිරීමේ හෝ පවත්වාගෙන යාමේ නීතිමය හැකියාවක් නොමැති බැවින් විත්තිකරු එම චෝදනාවලින් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.