‘රෝයල් පාර්ක්‘ මිනීමැරුමේ ඝාතකයාට ජනපති සමාව දීම සාධාරණද ?



'රෝයල් පාක් මිනීමැරුම' ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති නඩුවේ වරදකරු වී මරණීය දණ්ඩනයට යටත් කෙරුණ ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සිය විරෝධය පළකරන ඔහු අතින් ඝාතනයට ලක්වූ ඉවෝන් ජොන්සන්ගේ නැගණිය වන කැරොලයින් ජොන්සන් අද (10) දිනයේදී ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඇය මෙම ලිපිය සිය ෆේස්බුක් ගිණුමේ පළකරමින් පවසන්නේ, 

‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔබ මෙම ලිපිය කෙදිනකවත් නොබලන බව මම දන්නවා. දියණියන් දෙදෙනෙකුගේ පියෙකු ලෙස මෙම වරදකරු නිදහස් කිරීමට ඔබ ගත් තීරණය ගැන මට තේරුම්ගන්නට බැහැ‘‘ යන්නයි. 



සිය විධායක බලතල උපයෝගී කරගෙන වරදකරු නිදහස් කිරීම ගැන ඇය සිය විරෝධය පළකර තිබේ.


මේ හරහා සමාජ මාධ්‍ය තුළද දැඩි සංවාදයක් මතුවී ඇති අතර නීතිඥ සාලිය පීරිස් පවසන්නේ, මරණ දඬුවමට නියම වී සිටින දහස් ගණනක් වූ සිරකරුවන් අතරින් රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු ජනාධිපති සමාව ලබාගැනීමට තෝරාගත්ල ආකාරය ගැන දැනගැනීමට උනන්දුවෙන් පසුවෙන බවයි. 






‘සිරකරුවෝද මනුෂ්‍යයෝය‘ බව අප හොඳාකාරවම දන්නා අතර වරදකරුවන් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වී නොසිට කාලයත් සමග තමන් කළ වරද ගැන අවබෝධ කරගෙන යහපත් මිනිසුන් ලෙස සමාජගත වීම මිනිසුන් වන කවරෙකු වුවත් අනුමත කළද ම්ලේච්ඡ ලෙස තරුණියක ඝාතනය කළ මරණ දඬුවමට නියම වී සිටි වරදකරුවෙකු වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ධූර කාලයේ අවසාන දින කීපයේදී සමාව ලැබූවේ කෙසේද ? යන්න කාගේත් අවධානයට ලක්වූ මාතෘකාව වී තිබේ.