‘‘හම්බන්තොට වරාය චීනයට නොදී ඉන්න තිබුණා‘‘ - ජනපති



ඉන්දීය මාධ්‍යවේදී නිතින් ගෝක්ලේ සමග සිය පළමු විදෙස් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ පසුගිය ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීන ආණ්ඩුවට ලබාදීම වැරැද්දක් බවයි. මේ වරද නිවැරදි කරගැනීමට තමන් කටයුතු කරන බව ද ඔහු පවසා තිබේ. 


අවාසනාවකට පසුගිය ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීනයට ලබාදුන් බව මාධ්‍යවේදී නිතින් ගෝක්ලේ විමසූ විට ජනපතිවරයා පැවසුවේ, 

‘‘අපි කවදාවත් වරායේ පාලනය චීනයට නොදී ඉන්න තිබුණා. ඉතිං, ඒක වැරැද්දක්. 99 අවුරුදු ලීසිං පදනම මත දුන්නා. චීනය අපේ හොඳ මිතුරෙකු වුණත් සංවර්ධනයට ඔවුන්ගේ සහය අපිට අවශ්‍ය වුණත්, ඒක වැරැද්දක් යැයි කියන්න මම බිය වෙන්නේ නැහැ. ඒ ගැන නැවත සාකච්ඡා කරලා අපිට සහාය වෙන විදියේ වඩා හොඳ ගනුදෙනුවක් ඉදිරිපත් කරන්නැයි මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනතාව අද ඒ ගනුදෙනුව ගැන සතුටු නැහැ. අවුරුද්දක්, දෙකක්, අවුරුදු පහක් මේ ගැන සිතිය හැකියි, අනාගතයේ කුමක් සිදුවේද ? යන්න ගැන සිතා බැලිය යුතුයි. එබැවින්, ආයෝජනයට කුඩා ඉඩමක් ලබාදීම වෙනස් දෙයක්. හෝටලයක් හෝ වාණිජ දේපලක් සංවර්ධනය කිරීම ගැටළුවක් නොවේ. උපායමාර්ගිකව වැදගත්, ආර්ථික වශයෙන් වැදගත් වරාය ලබාදීම පිළිගත නොහැකියි. 

අපිට පාලනය තිබිය යුතුයි, නැවත සාකච්ඡා කළයුතුයි. මෙහෙයුමක් සඳහා පර්යන්තයක් ලබාදීම වෙනස් දෙයක්, අතිශය වැදගත් ස්ථානයක් පාලනය කිරීම නොව හෝටලයක් ඉදිකිරීමට යම් ස්ථානයක් ලබාදීම වෙනස් දෙයක්, ඒක පිළිගන්න බැහැ. මගේ ස්ථාවරය වෙන්නේ එයයි. අපිට ඉන්දියාව සමග අතිශය සමීපව කටයුතු කිරීමට අවශ්‍යයි.‘‘ යන්නයි. 


චීනය සමගත් සමීපව කටයුතු කිරීමට අවශ්‍ය බවත් ඉදිරි ඉන්දීය සංචාරයේදී මෙරට ආයෝජන, අධ්‍යාපන හා තාක්ෂණය දියුණු කිරීම ආදී ක්ෂේත්‍ර වලට මැදිහත්වන්නැයි ඉල්ලා සිටීමට නියමිත බවත් මෙහිදී පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ තමන් සිය ක්‍රියාවෙන් ජාතිවාදියෙකු නොවන බව ඔප්පු කර තිබෙන බවයි.