ශානි අබේසේකරගේ ස්ථාන මාරුව අත්හිටුවන්නැයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලයි


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ස්ථාන මාරුව අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අබේසේකර මහතා සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය ගැන අප්‍රසාදය පළ කරන බව ද එම සංගමය යොමු කළ ලිපියේ සඳහන් වේ.

ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගත් අපරාධ රැසක අධීක්ෂණ නිලධාරියා වූ ශානි අබේසේකර මෙසේ හදිසියේ ස්ථාන මාරු කරනු ලැබුවේ දේශපාලන හේතූන් නිසා බවත්, ස්වාධීන කොමිෂන් සභාවක් වන ජාතික පොලිස් කොමිෂන් සභාව එවැනි පටු තීන්දු තීරණ ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරමාර්ථ උල්ලංඝණය කිරීමක් බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කර තිබේ.