''ජනමාධ්‍යට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරනු'' - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය




මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වු වර්තමාන ආණ්ඩුවෙහි නිල කාලය අවසන් වන විටත්, ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම දැඩි අප්‍රසාදය පළ කර සිටින බව අදට (2) යෙදී තිබෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. 

මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන්නේ, 

2000-2015 කාලවකවානුව තුළ මෙරට ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවු අපරාධ අතරින් දණ්ඩ මුක්තියට අදාළව තෝරාගත් සිදුවීම් තිහක් සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදු කළ අධ්‍යයනයකින් පැහැදිලි වන්නේ, ඒ අතරින් එකම සිදුවීමක් සම්බන්ධයෙන් හෝ යුක්තිය ඉටු කිරීමට මෙම ආණ්ඩුව ද මෙතෙක් අසමත් ව  ඇති බවයි.
ඒ හැරුණු විට නිරීක්ෂණය වු ප්‍රධාන ගැටලුවක් වන්නේ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදි හා ප්‍රමාණවත් තොරතුරු වගකිව යුතු ආයතන සතුව නොමැති බවයි. එසේම ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රජයේ නිල ප්‍රකාශ හා සත්‍ය තත්ත්වය අතර විශාල පරතරයක් පවතින බවයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුලු මෙරට ජනමාධ්‍ය සංවිධාන ඉහත අපරාධ සම්බන්ධයෙන් කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගැනීම පිණිස පුර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස කලක සිට ඉල්ලා සිටියේ ඉහත  ගැටලුවට ද විසඳුමක් වශයෙනි. එහෙත් එම ඉල්ලීම ඉටු කිරීමට ද වත්මන් ජනාධිපතිවරයා අසමත්ව ඇත.එයින් පැහැදිලි වන්නේ මේ සම්බන්ධයෙන් දේශපාලන අධිෂ්ඨානය පිළිබඳ විශාල ගැටලුවක් පවතින බවයි. 

පසුගිය ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවලදි මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ප්‍රධාන ප්‍රතිඥාවක් බවට පත්ව තිබු නමුත් මෙවර ජනාධිපතිවරණයේ දී එබඳු අවධානයක් හෝ මෙම බරපතල ගැටලුව කෙරෙහි යොමු වී නොතිබීම කණගාටුවට කරුණකි. 

2019 නොවැම්බර් 02 වැනිදාට යෙදෙන දණ්ඩමුක්තිය අවසන් කිරීම සම්බන්ධ ජාත්‍යන්තර දිනය සිහි කැඳවමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නැවත නැවතත් අවධාරණය කර සිටින්නේ දණ්ඩ මුක්තිය අවසන් කිරීම පත්වන ඕනෑම රජයක ප්‍රමුඛ වගකීමක් වන බවයි. එමෙන්ම  මාධ්‍ය ප්‍රජාව සහ සිවිල් සමාජය වෙත දැඩිව අවධාරණය කර සිටින්නේ ඉහත දුර්වලතා මඟ හරවා ගනිමින් ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වු දණ්ඩමුක්තිය අහෝසි කර යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් කළ යුතු බවයි.'' යන්නයි.