සජිත් ජනපති කරන උතුරු-නැගෙනහිර ඡන්ද සටන අගමැති අතට





නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍යවරයා නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ උතුරු පළාත් සංවර්ධන අමාත්‍යවරයාද වශයෙන් කටයුතු කරන අතර, එම ප්‍රදේශයන්හි නිවාස ඉදිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පසුගිය කාලය තුළදී ක්‍රියාත්මක කොට ඇති අතර, ඒ සඳහා උතුරු නැගෙනහිර පළාත්වල දේශපාලන නායකත්වයද සහභාගි කර ගෙන තිබේ.
මේ අනුව මෙම සති අන්තයෙහි, එනම් නොවැම්බර් 02 සහ 03 දිනයන්හි අගමැති රනිල් වික්‍රමසිංහ  උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ සංචාරය කරමින් ජනතාව ඇමතීමට කටයුතු සම්පාදනය කොට ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. ලබන සතියෙහි නැවතත් නැගෙනහිර පළාතේ ඡන්ද ව්‍යාපාරයෙහි නියැලීමටද ඔහු සැලසුම් කොට ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 02 සෙනසුරාදා පෙරවරුවේ වවුනියාවේ සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේදී ව්‍යාපාරික හමුවකට සහ තරුණ හමුවකට සහභාගි වෙනු ඇත. එදින සවස මුතූර් වෙත යන අගමැතිවරයා සවස 2.00 ට මුතූර් හි 'තෝපූර් ප්‍රාදේශීය සභා භූමියෙහි පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ ජන රැළියට සහභාගි වනු ඇත.

ඉන් අනතුරුව සවස 4.00 ට අග්‍රාමාත්‍යවරයා මන්නාරම පැවැත්වෙන ජන රැළිය ඇමැතීමට නියමිතය.
එදින සවස 6.00ට මනිපායි, ආනෛකෝට්ටෛ, කාවල්කාඩු හි සංවිධානය කොට ඇති රැස්වීමකට සහභාගි වන අගමැති රනිල් වික්‍රමසිංහ රාත්‍රී 8.00 ට යාපනයේ ව්‍යාපාරික ප්‍රජාව සමග සංවිධානය කර ඇති හමුවකටද සහභාගි වනු ඇත.

නොවැම්බර් 03 වන ඉරිදා යාපනය නාග විහාරයේ ආගමික වතාවත් වලට සහභාගි වන අගමැති රනිල් වික්‍රමසිංහ ඉන් පසුව කිලිනොච්චි, කයිට්ස්, චාවකච්චේරි, නෙල්ලිඅඩි සහ මනිපායි යන ප්‍රදේශවල පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ ජන රැළි ගණනාවක් ඇමැතීමට නියමිතය.