සජිත්ගේ පෑඩ් විප්ලවය

සජිත් ප්‍රේමදාස මෙවැනි සමාජීය කාරණයක් ඉදිරියට දමා,  ගෝත්‍රිකවාදීන්ගේ කුහකකම එළියට ඇදදැමීමට වටපිටාවක් සකස්කිරීම ඉතාම වැදගත්ය. මන්ද ඔවුහුගේ සැබෑ දේශප්‍රේමීත්වයේ තරම ඉන් ඔප්පු වේ. 

කතුවැකිය

"පෑඩ් මෑන්" යනු හින්දි චිත්‍රපටයකි. එම චිත්‍රපටයට පාදක වන්නේ අරුනාචලම් මුරුගනාදන් මහතාගේ සත්‍යය ජීවිත කතාවය. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා අක්ශේ කුමාර්ය. චිත්‍රපටයේ තිර රචනය සිදු කරනු ලබන්නේ අක්ශේ කුමාර්ගේ බිරිඳ වන ටුවින්කල් කන්නා විසින් ලියනු ලැබූ කෙටිකතාවක් ආශ්‍රයෙනි. එය සැමියා සහ බිරිඳ අතර  පැවතිය යුතු ගැඹුරු අවබෝධය පිළිඹිබු කරන ඉතාම වැදගත් කතාවකි. මේ මුරුගනාදන් ගැන සඳහන් එක්  වාර්තාවකි. 


"මේ සියල්ල ආරම්භ වූයේ 1998 දී ය. දකුණු ඉන්දියාවේ දුප්පත් අත්යන්ත්‍ර පේෂකර්මාන්තයේ යෙදුණු දෙමපයින්ට දාව උපන් පුතෙකු වූ අරුණාචලම් මුරුගානන්දම්, තම බිරිඳට සනීපාරක්ෂක තුවා ලබා ගත නොහැකි නිසා ඔසප් වීම සමඟ කටයුතු කිරීම සඳහා පරණ රෙදි කැබිලි භාවිතා කරන බව දැන  ගත්තේය. මුරුගා කම්පනයට පත් විය. ඔහු ඇය මුහුණ දෙන අභියෝගය විසදීමට එය අවස්ථාවක් කරගත්තේය. ඔහු ඇගේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට තීරණය කළේය. මුලදී එය සරල කාර්යයක් ලෙස පෙනුණි. ඔහුගේම අතින් ගෙදර හැදූ මූලාකෘති තුවාය තම බිරිඳට ඉදිරිපත් කර එය පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටියේය. නමුත් එය අසාර්ථක විය. අවස්ථා කිහිපයකදීම අසමත් වූ හෙතම අවසානයේ, ඉතාම අඩු මුදලට සහ කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්වය  ආරක්ෂා කරගත හැකි සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කළ හැකි යන්ත්‍රයක් නිපදවීමට සමත් විය. එය ප්‍රදේශයේ දහස් ගණනක් වූ කාන්තාවන්ට ලැබුණු අස්වැසිල්ලක් විය." 

අද මුරුගනාදන් ජාතික වීරයෙකි. ඔහුගේ ජීවිතය යළිත් මෙරට සමාජයට අතවශ්‍යය කියවීමක් බවට පත්වී ඇත්තේ, සනීපාරක්ෂක තුවා මෙරට ජනාධිපතිවරණයේ වැදගත් පොරොන්දුවක් බවට පත්වී ඇති හෙයිනි. ඒ  සජිත් ප්‍රේමදාස මහතා විසින්, කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා ලබාදෙන බව සඳහන් කිරීමෙනි. ඔහු පාසැල් ළමුන්ට අයි-පෑඩ් දීම වෙනුවට, පෑඩ් දීම තෝරාගෙන ඇත. එසේම නිල ඇඳුම් සහ පොත් වලට අමතරව සපත්තු කුට්ටමක් ලබාදීමට සිහින දකිමින් සිටින්නේය. රටේ සෑම අස්සක මුල්ලකම සිටින මනුෂ්‍යකුට මූලිකවම අවශ්‍යය වන්නේ මේවාය. මෙය විසඳීමට කිසිවෙකු හෝ පියවරක් ගන්නේ නම් ඔහු ඉතිහාසයේ දිනක ජනතාවගේ සැබෑ ගෞරවයට පාත්‍ර වනු නියතය.  

නමුත් ඇතැම් දේශපාලන කණඩායම් සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ සනීපාරක්ෂක තුවා ලබා දීමේ පොරොන්දුවට ප්‍රතිචාර දක්වනු ලැබුවේ  භූමිතෙල් වැදුණු විට ගැරඬින් දඟලන ආකාරයෙනි. "මේවා ප්‍රසිද්ධියේ කියන්න ඕන කතාද ඕවා?" "මැතිවරණ ප්‍රචාරණයට උදව් කරන බිස්නස් කාරයකුට චාන්ස් එකක් දෙන්න හදන වැඩක්?" ආදී විවිධාකාර ප්‍රතිචාර "දේශප්‍රේමය" කරපින්නාගෙන සිටින දේශපාලනඥයින් විසින් ඉදිරිපත් කරමින් සිටිති.

සජිත් ප්‍රේමදාස මෙවැනි සමාජීය කාරණයක් ඉදිරියට දමා,  ගෝත්‍රිකවාදීන්ගේ කුහකකම එළියට ඇදදැමීමට වටපිටාවක් සකස්කිරීම ඉතාම වැදගත්ය. මන්ද ඔවුහුගේ සැබෑ දේශප්‍රේමීත්වයේ තරම ඉන් ඔප්පු වේ. මෙම කාරණය වෙනුවෙන් කුමන ප්‍රතිචාර දැක්වුවද, මෙවැනි මූලික සමාජ කාරණයක් සමාජයට ගෙන ඒම සහ එය මැතිවරණ පොරොන්දුවක් බවට පත් කිරීම ගැන සජිත් ප්‍රේමදාසට අපේ ස්තූතිය මෙන්ම ගරුත්වය හිමිවේ.  මෙවැනි අදහසක් ඉදිරිපත්විය යුතුව තුබුණේ මීට දශක ගණනාවකට පෙරදීය. 

ලෝකයේ පළමු අගමැතිනිය බිහිකළ රට, ලෝකයේ පළමු විධායක ජනාධිපතිනිය බිහි වූ රට, ආදී වශයෙන් නම් දරපු රටක් වන ශ්‍රී ලංකාව ස්ත්‍රී පාර්ශවයට සැලකූ අයුරු ඉතාම නින්දිත විය. මේ දිනවල නීතියෙන් කට්ටි පනිමින් සිටින දකුණු පළාතේ ප්‍රාදේශීය දේශපාලඥයෙකු වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් නමැත්තෙකු  හොං කොං ජාතික කාන්තාවක් දූෂණය කිරීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍යයජාල වල හුවමාරු වේ. එවැන්නක් දැකීමට තරම්, මෙරට වැසියන් අවාසනාවන්ත වී ඇත. 

සංචාරකයෙකු ලෙස මෙරටට පැමිණෙන ඇය, මෙරට හෝටලයක් ආරම්භ කිරීමට සිහින දකින්නීය.ඒ සඳහා අවශ්‍යය ගොඩනැගිල්ලක් බද්ධට ගැනීම සඳහා පළාතේ පුද්ගලයෙකුට මුදල් දෙන්නීය. නමුත් ඇය හසුවන්නේ වංචාවකටය. ඊට විසඳුමක් ලබා  ගැනීම සඳහා, පුෂ්පකුමාර වෙත යොමු කරන ඇයට, ඔහුගේ අඩත්තේට්ටම් කිරීම් වලට හසුවීමට සිදුවේ.  ඉතාම කෙටි කාලයකින් ලිංගික වදහිංසාවලට මුහුණ දුන් පසු එම තක්කඩියා ඔහුගේ රියදුරාටද මෙම කාන්තාව පාවිච්චි කිරීම සඳහා අවශ්‍යය පහසුකම් සපයා ඇත. මාස ගණනක් ගත වී තිබුණද, අධිකරණයට සහ පොලිසියට අධෝමුඛ්‍ය පෙන්නමින් සිටින මෙම පුද්ගලයා තවමත් නිදැල්ලේ වෙසෙන බව මාධ්‍යය වාර්තා පෙන්වා දෙනු ලබයි. කාන්තාවන් මුහුණ දෙන තත්වය මෙයයි. මෙම කාමාතුරයා මේ වන විට රාජපක්ෂ කඳවුරේ ප්‍රභල සාමාජිකයෙක් ලෙස පෙනී සිටින්නේය. ඊට හේතුව වෙන කිසිවක් නොව, තමන් විසින් කරනු ලැබූ සියලු කටයුතු වසා ගැනීමට එම කඳවුර සහය වන බව ඔහු දන්නා හෙයිණි. 

සජිත් ප්‍රේමදාස කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ඔවුහුගේ සනීපාරක්ෂාව ගැන කතා කරන විට, ඇතැමුන් එය විහිලුවට ලක් කරන්නේ මේ නිසාය. මන්ද මොවුන් තාමත් ජීවත් වන්නේ වලව්වේ හාමුගේ කැත කුණු ශුද්ධ කිරීමට යන සුමනා, බේබී හාමු අතින් ගැබ්ගත් විට, වලව්වේ වත්ත පිටිය ශුද්ධ කරන පියදාසට බලෙන්  කසාද බැඳ දී  සාදරණය "ඉටු කළබව පවසා අතසෝදා ගැනීමේ" මානසික තත්වයෙනි. මේ නිසා යන යන හැම තැනම, ලොක්කා උස ලොකු මහත පුටුවක හිඳිමින් සහ වහලාට පැදුර එලා, දේශපාලන විප්ලව ගැන සමාජ ප්‍රතිසංස්කරණ ගැන වහරති. මෙවැනි විහිළුකාරයෝ, සිටින තාක් දුරට, සංචාරකයින් දකිනවිට තමන්ගේ තෙල රත් වී ඔවුහු අපහරණය කරන කාමාතුරයින්, ගැහැණු දරුවන් සිය දෙනෙකු සමග නිදා ගැනීම සමරන පාදඩයින් බිහි වීම වැළක්විය නොහැකිය. ඇතැමුන්ට අවශ්‍යය වී ඇත්තේ මෙයයි. 

නමුත්, සජිත් මෙම සමස්ථ සමාජ ඛේදවාචාකය ගැන වෙනස් ඇසකින් බලන්නේය. මෙය අගයකළ යුතු කාරණයකි. ඔහු දිනන්නේද? පරදින්නේය? යන්න අපට එතරම් වැදගත් නැත. නමුත්, මෙවැනි විපල්වීය අදහස් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමකින් තොරව රටට සහ සමස්ථ  ජනතාවට ඉදිරියට යෑමට හැකියාවක් නැත. එනයින් බලන කළ සජිත් දේශපාලනික වශයෙන් සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් සත්‍යය සහ අව්‍යාජ සිහින දකින්නෙකු බව සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ. 

සජිත්ගේ මෙම මැතිවරණ පොරොන්දුවේ ඇති සැබෑ අරුත අවබෝධ කර ගැනීමට නම් පෑඩ් මෑන් චිත්‍රපටය නැරඹීම පමණක් ප්‍රමාණවත්ය.