''පොඩි මිනිහගේ ආර්ථිකය ශක්තිමත් කරන්න, සජිත් ජනපති කරන්න'' - රනිල්




''පොඩි මිනිසගේ ආර්ථිකය ශක්තිමත් නොකර රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව පෙන්වාදුන් අගමැති රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 16 වැනි දින සජිත් පේ‍ර්මදාස  ජනාධිපතිධූරයට පත් කර පොඩි මිනිසාගේ ආර්ථිකය ආරක්‍ෂා කර ගත යුතු බව පසුගියදා (21) පැවති පිටකොටුව ස්වයං රැකියා ලාභීන්ගේ හා පදික වෙළඳුන්ගේ වාර්ෂික සමුළුවට එක්වෙමින් පැවසුවේය.  


රාජපක්‍ෂ පාලනය සමයේ මෙරට ඩුබායි, සිංගප්පූරු මෙන් දියුණු කරනවා යැයි පොරොන්දු දී පොඩි මිනිසා පන්නා දමා ඔවුන්ට උන්හිටිතැන් පවා අහිමි කර දැමූ බව සිහිපත් කළ ඔහු, එජාපයේ අරමුණ වන්නේ සිංගප්පූරුව, ඩුබායි රාජ්‍යයන් අත්කරගෙන තිබෙන සංවර්ධනය මෙරට ඇති කිරීම බව පෙන්වා දුන්නේය. 


මෙම අවස්ථාවට විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ෆයිරූස් හාජ්ජියාර්, කොළඹ උපනගරාධිපති එම්.ටී.එම්. ඉක්බාල් ඇතුළු පිරිස එක්වී සිටියහ. 


එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ, 


පොඩි මිනිහගේ ආර්ථිකය ශක්තිමත් කළේ ජේ. ආර් 

''ජනාධිපති  අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් ෂැන්ග්‍රිලා හෝටලයට කැඳවා තිබුණා. නමුත් මම  "පොඩි මිනිහගේ” ආර්ථිකය පිළිබඳව කතා කිරිමට අද අඩි 100 වෙළඳපොළ භූමියට පැමිණියා.

"වේස්ටර්න් ලුක්”, "ඩේවිඩ් ගෑම්”,  "ඩිලූෂ් ‍ෆ්‍රෙෂ් ෆෘට්” වැනි මේ අවට ඇති කුඩා ව්‍යාපාර ව්‍යාපාර ගෝඨාභය රාජපක්ෂ මහතාට වටින්නේ නැහැ.  "පොඩි මිනිහගේ” ආර්ථිකය ශක්තිමත් නොකර රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකියි. ඒ නිසා ඔබ සියලූ දෙනාම අපිට වැදගත් බව මම මෙහිදි සඳහන් කරන්නවා. අපගේ හා ඔවුන්ගේ වෙනස එයයි. 

මේ රටේ  "පොඩි මිනිහගේ” ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නිදහස් ආර්ථිකය හදුන්වා දුන්නා. කොළඹ "පොඩි මිනිහගේ” ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ශක්තිය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබාදුන් බව සඳහන් කරන්න කැමතියි.යි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුතණුවන් වන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට නොවැම්බර් 16 වනදා ඡන්දය ලබාදී  "පොඩි මිනිහගේ"  ආර්ථිකය ආරක්ෂා කර ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා.

1977 වසරෙන් පසුව "පොඩි මිනිහගේ" ආර්ථිකය දියුණුවට පත්වුණා. ඒත් සමග කොළඹ දියුණුවට පත්වුණා. එම දියුණුවට ඉරිසියාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා 2014 වසරේ ඔබ සියලූ දෙනා ව්‍යාපාරික ස්ථානවලින් පන්නා දැමුවා. පදික වේදිකාවේ වෙළදාම් කළ ව්‍යාපාරිකයින් පන්නා දමා ඒ වෙනුවට  "ෂැන්ග්‍රි ලා" ව්‍යාපාරය ගෙනවිත් ගාලූ මුවෙදාර ලබාදුන්නා. ගාලූ මුවදොර පිටියේ වෙළදාම් කළ ව්‍යාපාරිකයින් එයින් පන්නා දැම්මා. එවැනි කාලයකට නැවත යනවාද නැතිනම් මෙම තත්වය ආරක්ෂා කරමින් ඉදිරියට යනවා දැයි මම ඔබෙන් ප්‍රශ්න කරනවා. ඒ නිසා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය ලබාදී එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරියට ගමන් කිරීමට එක්වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. 

ඔබ නැතුව මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ගමනක් නැහැ 

ඔබ සියලූ දෙනා නොමැතිව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ගමනක් යන්නට බැහැ.  "සැම්සුන්ග්" සමාගම දුරකතන ආනයනය කලාට එම දුරකතන අලෙවි කරන්නේ එම සමාගම නොවෙයි. මෙම ස්ථානයේ තිබෙන දුරකථන අලෙවිසැල් හරහා එම දුරකථන අලෙවි කිරීම සිදුකරනවා. මම අමාත්‍ය ධූරය දරණ කාලයේ ඇති කල බියගම අයෝජන කාලපය තුළ මෙරට  "කොකා කෝලා" සමාගම ඉදිකර තිබෙනවා. "මේගාස් කූල්ස් පොට්" වැනි පොඩි මිනිහගේ ව්‍යාපාර නැතිනම් ඔවුන්ට  "කොකා කෝලා" නිෂ්පාදන අලෙවි කරන්නට බැහැ. මෙවැනි අවබෝධයක් නැතිව රටේ ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා.  

කොම්පඤ්ඤවීදියේ නිවාස කඩා දමා මිනිසුන් එළවා දැමූ පිරිසකට නැවත රට භාර දෙනව ද? පොහොට්ටුවට දෙන ඡන්දය ඔබේ නිවාස කැඩ්මට දෙන බලපත්‍රයක් බව මතක තබාගන්න. මෙම ප්‍රදේශය සංවර්ධනය කරන විට කිසිම පුද්ගලයෙක් අපි බලෙන් එළවා දැමුවේ නැහැ. ඒ වෙනුවට නිවාස සංකීර්ණ ඉදිකර නිවාස ලබාදී සංවර්ධන වැඩකටයුතු අප සිදුකළා. ඔබට තැනක් ලබාදී සංවර්ධනය අපි ඉදිරියට ගෙනයනවා.


එදා මෙරට ඩුබායි, සිංගප්පූරුව බවට පත් කරනවා යැයි කියා "පොඩි මිනිහා" පන්නා දැම්මා. ඔබත් සමග එක්ව සිංගප්පූරුව, ඩුබායි රාජ්‍ය අත්කරගෙන තිබෙන සංවර්ධනයක් මෙරට ඇති කිරීම අපේ අරමුණයි. දියුණුවක් අත්කරගෙන තිබෙන සිංගප්පූරුව තුළත්  "පොඩි මිනිසුන්" ව්‍යාපාර සිදුකරගෙන යනවා. අඩු මිලට භාණ්ඩ එම වෙළඳපොල තුලින් මිලදී ගන්න පුළුවන්. මේ පිළිබඳව අවබෝධයක් නොමැති පිරිසකට රට භාර දෙනවා දැයි මම ඔබෙන් නැවතත් අහන්න කැමතියි. 

පෙර පාලනය දිගටම තිබ්බා නම් රට බංකොලොත් 

2015 වසරේ අප රට භාරගන්නා විට නැවත ණය ලබාගත නොහැකි තත්වයකට රට පත්ව තිබුණා. ඊටත් වඩා ලබාගත් ණය ගෙවීමට හෝ නැවත ණය ලබාගැනීමට නොහැකි වුණා. පෙර පාලනය දිගටම පැවතුණා නම් රට බංකොලොත්භාවට පත්වෙනවා. කෙසේ හෝ අපි ස්ථාවරත්වයක් රට තුළ ඇති කළා. එහිදී අපහසු කාලයක් තිබුණා. වැට් බදු වැඩිකිරීමට පවා අපට සිදුවුණා. අපි එය පිළිගන්නවා.

නමුත් වැට් බදු වැඩිකළ නිසා එම ආදායම යොදාගෙන ළගම පාසල - හොඳම පාසල වැඩසටහන මගින් පාසල් ගොඩනැගිලි ඉදිකිරිම, හෘද රෝගීන්ට ස්ටෙන්ට් නොමිලේ ලබාදීම වැනි විශාල වැඩ කොටසක් අප සිදුකළා. ඒ වගේම ඉන්ධන මිල ගණන් පහත දමා ජනතාවට සහන ලබාදුන්නා. ඉන්ධන මිල ගණන් පහත හෙලීමට නොහැකි වූ පිරිස් අද ආර්ථිකය පිළිබඳව කතා කරනවා. ස්වභාවික ව්‍යසන මත ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගියත් සමස්තයක් ලෙස මිල ගණන් පහත හෙලා පාලනයක් ඇති කර තිබෙනවා. 

රට ඉදිරියට ගෙනයාමේදී ආණ්ඩුවට ණය ලබාගැනීමට සිදුවුණා. ණය ලබාගැනීමේදී ඉල්ලූම වැඩිවී ණය පොලී ඉහළ ගියා. 2018 වසරේදී මෙම තත්වය අවම කරගැනීමට අප බලාපොරොත්තු වුණා. නමුත් දින 52ක ව්‍යවස්ථා කුමන්ත්‍රණය, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි අභියෝග හමුවේ ආර්ථිකය කඩාවැටෙන්න යාමේදී පොලී අනුපාත ඉහළ ගියත් ඉදිරි වසර තුළ නැවත පොලිය අඩුකර ව්‍යාපාර සිදුකිරීමට පහසුකම් ලබාදෙන බව කියන්න කැමතියි.

ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී මහා පරිමාණ වුවත්, සුළු පරිමාණ වුවත් බැංකු ණය ලබාගැනීමට සිදුවනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා. ඒ වගේම තවත් කරුණක් පිළිබඳව අවධානය යොමු කල යුතුයි. ඔබ ව්‍යාපාරයේ සේවය කර අවසන් වූ පසුව ඔබේ අනාගතය සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට අපි ඉදිරියේදී පියවර ගන්නවා. මෙහිදී විවිධ ගැටළු කිහිපයක් මට ඉදිරිපත් කළා. ඒ සියලූම ගැටළුවලට අපි විසදුම් ලබාදෙනවා. එම ගැටළු හේතුවෙන් ව්‍යාපාර අවසන් කළ යුතු නැහැ.

මෙම ව්‍යාපාර කටයුතු ඉදිරියට සිදුකරමින් දියුණුවක් අත්කරගත යුතුයි. ඔබේ දරුවන් දක්ෂයෙක්වි විශ්ව විද්‍යාල ආචර්යවරයෙක්, මහාචාර්යවරයෙක්, ගණකාධිකාරීවරයෙක්. මීටත් වඩා විශාලා ව්‍යාපාරයක් සිදුකරන්නට පුළුවන්. ඒ තුලින් ව්‍යාපාරික දැනුම හා හැකියාව ඉහළ යනවා. මේ රට දියුණු කිරීමේ උවමනාව හා හැකියාව අප සතුව තිබෙනවා. ඒ නිසා ස්වයං රැකියා සඳහා උදව් ලබාදෙන වෙනම අංශයක් ඇති කර ඔබ සියලූ දෙනා ඉදිරියට ගෙන යෑමට අප බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුවෙන් හා කොළඹ නගර සභාව හරහා ආධාර උපකාර කරනවා

ආණ්ඩුවෙන් හා කොළඹනගර සභාව හරහාත් ඔබට ආධාර හා උපකාර ලබාදෙන ඒකකයක් එනම්  "වන්ස්ටොප් ෂොප්" ලබාදෙනවා.  "ලොකු මිනිහට" වගේම  "පොඩි මිහිහටත්" එක ස්ථානයකට ගොස් තම වැඩකටයුතු සිදුකිරීමට සමාන අවස්ථාවක් ලැබිය යුතුයි. ඩොලර් මිලියන 500ක් රැගෙන එන පුද්ගලයාටත්, ලක්ෂ 5ක් රැගෙන එන පුද්ගලයාටත් එම පහසුකම් ලබාදිය යුතුයි. ඩොලර් මිලියන 500ක් රැගෙන එන පුද්ගලයාට ආයෝජන මණ්ඩලය හරහාත්, ලක්ෂ 5ක් රැගෙන එන පුද්ගලයාට නගර සභාව හරහාත් පහසුකම් ලබාදිය හැකියි.

රටක් දියුණු වෙනවාත් සමග ස්වයං රැකියා අංශය දියුණු වෙනවා. ඒ නිසා ස්වයං රැකියා අංශය අපි දියුණු කළ යුතුයි. ඇමෙරිකාව දෙසට අවධානය යොමු කිරීමේදී එරට ස්වයං රැකියා අංශය වැඩි වශයෙන් දියුණු වී තිබෙනවා. මහා පරිමාණ ව්‍යාපාර අදායම් මාර්ග අඩුවී  ස්වයං රැකියා අංශයේ අදායම් වැඩිවී තිබෙනවා. සාර්ථක රටවල එවැනි තත්වයක් ඇතිවී තිබෙනවා. 

ඒ වගේම ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති කළ යුතුයි. 1979 වසරේ සිරිල් මැතිව් මැතිතුමා ත්‍රිරෝද රථ මෙරට ගෙන ආවා. රට දියුණු කිරීමේදී මෙම සියලූම ව්‍යාපාර අපට අවශ්‍ය වෙනවා. මෙහිදී තමන්ගේ අනාගතය පිළිබඳව එක් තීරණයක් පමණයි තිබෙන්නේ.  "පොඩි මිනිහගේ" ආර්ථිකය කොතනද, තමන්ව ආරක්ෂා කරන්නේ කවුරුන්ද, ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා වන පොහොට්ටුවට ඡන්දය ලබාදී ආරක්ෂා විය හැකිදැයි මම ඔබෙන් අසනවා.  

මෙවැනි ව්‍යාපාර සිදුකරමින් විශාල පිරිසක් ජීවිකාව සිදුකරගෙන යනවා. රෙදි, විද්‍යුත් උපකරණ වගේම අනෙක් භාණ්ඩ අලෙවි කිරීමට අවස්ථාව හිමි විය යුතුයි. තීරු බදු ගෙවා ආනයනය කර මෙම ස්ථානයට ගෙනවිත් ඇතමුන් වෙළඳාම් සිදුකරනවා. ඒ වගේම පිරිසක් විදේශ ගතවී භාණ්ඩ රැගෙන මෙරටට පැමිණ වෙළඳම් කරනවා. අපි විදේශ ගත වන අවස්ථාවල එවැනි ව්‍යාපාරිකයින් ගුවන්තොටුපලේදී මුණ ගැහෙනවා. ඒ ආකාරයට ව්‍යාපාර ලොව පුරාම සිදුවෙනවා. 

කුඩා ව්‍යාපාර ඇති කිරීමට හා ඒවායේ අදායම් ඉහළ නැංවීමට අවශ්‍ය සාධක හා ව්‍යාපාරික අවස්ථා තවත් දියුණු කළ යුතුයි. ව්‍යාපාරික දියුණුවට සමගාමිව ඔබේ ජීවිතයත් දියුණු විය යුතුයි. ඒ නිසා පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට අප පියවර ගත්තා. විද්‍යාව විෂය සෑම පාසලකම ආරම්භ කිරීමට නුදුරේදී අපි පියවර ගන්නවා. තවත් වසර 4 - 5ක් තුළ ඔබේ දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට හොඳ වැඩපිළිවෙලක් ඇති වෙනවා. මැද කොළඹපාසල් දියුණු කිරීමට අපි පියවර ගන්නවා. 

මෙරට අලූත් ආර්ථිකයක් ඇති කරනවා. මෙරට දියුණු කිරීමට නම් ආනයන ඉක්මවා රටේ අපනයනය ඉහළ නැංවිය යුතුයි. නව තාක්‍ෂණය රට තුළට හඳුන්වාදී අපනයන ආර්ථිකයක් ඇති කිරීම අපේ එක් අරමුණක් වි තිබෙනවා. දෙවන අරමුණ හතර වන කාර්මික විප්ලවයට රට ඇතුල් කිරීමයි. තුන් වන අරමුණ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමයි. හතරවන හා අවසාන අරමුණ  "පොඩි මිනිහට" ආර්ථිකයක් ඇති කර දීමයි. මෙම ප්‍රධාන අරමුණු හතර ඔස්සේ අපි ක්‍රියාකරන බව මෙහිදී මම සඳහන් කරනවා. 

රට දියුණු කිරීමේ එකම විකල්පය සජිත් ජනපති කිරීමයි 

රට දියුණු කිරීමේ එකම විකල්පය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය ලබාදී මෙරට ජනාධිපතිවරයා බවට පත්කිරීමයි. මෙම වැඩපිළිවෙල විනාශ කිරීමට බෝම්බකරුවන් අවශ්‍ය වන්නේ නැහැ. එසේ කිරීමට අවශ්‍ය නම් පොහොට්ටුවට ඡන්දය ලබාදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදෙන්න. 

ඔබේ ආරක්ෂාව හා දියුණුව වෙනුවෙන් නොවැම්බර් 16 වනදා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය ලබාදෙන මෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ වැඩපිළිවෙළ අපි ඉදිරියටම ගෙන යන බව මම මෙහිදී සඳහන් කරන්න කැමතියි. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හෝ ජනාධිපති සහය නොමැතිව මේ සියලූ වැඩකටයුතු අප සිදුකළා. අපිට සුළුතර බලයක් පමණක් හිමිවි තිබුණා. නමුත් වසර හතරහාමාරක් අපි රට ඉදිරියට ගෙනගියා. ඒ නිසා අපේම ජනාධිපතිවරයෙක්, බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් හා අපේම බලය සහිත පළාත් සභාවක් අපිට ලබාදුනහොත් රොකට්ටුව වේගයෙන් සීග්‍ර සංවර්ධනයක් සිදුකර රට ඉදිරියට ගෙනයන බව කියන්න කැමතියි.'' යන්නයි.