මඩු දේවස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ


මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් එම සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්ඩිනෑන්ඩු පියතුමා වෙත ජනාධිපති විසින් සන්නස් පත්‍රය පිළිගන්වනු ලැබීය.

කිතුනු බැතිමතුන්ගේ ගෞරවනීය පුදබිමක් වන මඩු දේවස්ථානය, බෞද්ධ සහ හින්දු බැතිමතුන්ගේ ද වන්දනාමානයට පාත්‍ර වන සුවිශේෂි ආගමික ස්ථානයකි. වාර්ෂික මඩු මංගල්‍යය අවස්ථාවේදී මෙන්ම වසර පුරාම වන්දනාකරුවෝ ද දෙස් විදෙස් සංචාරකයන් ද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මඩු දෙවස්ථානය වෙත පැමිණෙති. පසුගිය යුද සමයේ සිදු වූ දැඩි අලාභහානී හේතුවෙන් ද, දිගු කලක් තිස්සේ නඩත්තු හෝ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුනොවීම හේතුවෙන් ද මඩු දේවස්ථානය අවට ප්‍රදේශය අඩු පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්ව තිබිණි.