හමුදාව යුද අපරාධ කළ බව ගෝඨාභය පිළිගෙන ?



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක වන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ (26) දින "ගෝඨාභය- "රට හදන සෞභාග්‍යයේ දැක්ම" නමින් එළිදැක්වුණි. මෙහි ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකල බව පිළිගැනීමත්, ඔවුන් සම්බන්ධව පියවර ගැනීමේ සූදානම  ඇතුළුව ව්‍යවස්ථා විරෝධී, මිලිටරි ආඥාදායකත්වයක් සහිත පවුල්  පාලනයක් වෙනුවෙන් වන භයානක වගන්ති අන්තර්ගත කර ඇති බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. 

ඒ බවට "ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම" නව වැනි පිටුවේ පැහැදිලිව දක්වා ඇති බව ඔවුන් සඳහන් කරයි.

හමුදාව යුද අපරාධ කළ බව ගෝඨාභය පිළිගෙන ?



 යුද සමයේ චෝදනා ලැබූ යුද හමුදා සාමාජිකයන් කියන්නේ කවුද ? යුද සමයේ චෝදනා ලැබූ හමුදා සාමාජිකයන් සම්බන්ධව පියවර නොගත් බව ගෝඨාභය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල සඳහන් කරන විට ඉන් අදහස් වන්නේ, ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කළ බව නොවේද ? ඒ අනුව ලසන්ත ඝාතනය සම්බන්ධව පමණක් නොව දෙමල ඩයස්පෝරාව මෙතෙක් නැගූ යුද අපරාධ චෝදනා තහවුරු කරන ගෝඨාභය තම බල තණ්හාව හමුවේ වීරෝධාර හමුදාවද මහා පාවාදීමකට ලක්කර ඇති බව පැහැදිලිය. මේ ඔවුන්ගේ රණවිරුගායයි. 

මෙතෙක් කලක් වත්මන් ආණ්ඩුවට ඔවුන් චෝදනා කර සිටියේ යහපාලන ආණ්ඩුව රණවිරුවන් පාවාදෙන බවය. මංගල සමරවීර ජිනීවා ගොස් හමුදාව පාවාදෙන ගිවිසුම් අත්සන් කළ බවය. එහෙත් වත්මන් ආණ්ඩුව දිගින් දිගටම ජාත්‍යන්තරයට කියා සිටියේ යුද්ධය සමබන්ධව චෝදනා ලැබූ කිසිවෙක් හමුදාවේ නැති බවය. 

එහෙත් දැන් ගෝඨාභය තම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහාම  තමන්ගේ බල තණ්හාව ඉටුකර ගැනීම වෙනුවෙන්  යුද්ධය සම්බන්ධව විවිධ චෝදනා ලබා සිටින හමුදා සාමාජිකයන් ගැන කියයි.   ලංකා රණවිරුවන් අමුඅමුවේ ජාත්‍යන්තරය හමුවේ පාවාදීමක් හැර මේ වෙන කුමක්ද ? එපමණක් නොව ඔහු දැන් දඬුවම් ලබා සිටින හමුදා සාමාජිකයන් ගැනද කියයි. 

ඒ කවුද ? යුද්ධය කල නිසා කිසිදු හමුදා සාමාජිකයෙක් දඬුවමට ලක්ව නැත. දැනට බන්ධනාගාර ගතකර සිටින්නේ රාජපක්ෂ පවුලේ විරුද්ධවාදීන් ඝාතනය කිරීමට, පැහැරගැනීමට සහ අතුරුදහන් කිරීමට අදාළව චෝදනා ලබා අධිකරණ නියෝග මත බන්ධනාගාර ගතකර සිටින කිහිප දෙනෙකු පමණය. පළමු රැලියේදීම ගෝඨාභය කියා සිටියේ රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂ පවුලේ අවශ්‍යතා වෙනුවෙන් මාධ්‍යවේදීන්, සිසුන් , තරුණයන්, සහ දේශපාලන විරුද්ධවාදීන් ව ඝාතනය කල පැහැරගත් සහ අතුරුදහන් කල ඒ පිරිස නිදහස් කරන බවය. ඒ අනුව ගෝඨාභය යුද අපරාධ කල බවට පිළිගෙන සමස්ත හමුදාව ලෝකය හමුවේ පාවාදී ඇතුවා පමණක් නොව තමන්ගේ පව් සේදු ගහලයන් නිදහස් කරන්නටද නියමිතය.

එපමණක් නොව. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 9 පිටුවේ දැක්වෙන මේ ප්‍රතිපත්තිය විමසමු, 



ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරවීමේ සූදානමක් ?

වැරදීමකින් හෝ මොවුන්ට පාලන බලය ලැබුනහොත් ඊට පසුදා පාර්ලිමේන්තුව විසුරවා හැරීමය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වත්මන් පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපතිට බලය ලැබෙන්නේ එකී පාර්ලිමේන්තුව පත්ව වසර හතරකුත් මාස හයක්  ගෙවීගිය පසුවය. ඒ බව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  පැහැදිලිව දක්වා ඇත.  එනම් 2020 මාර්තු මාසය දක්වා පාර්ලිමේන්තුව විසුරවීමට හැකියාවක් ජනාධිපතිට නැති අතර එය ව්‍යවස්ථා විරෝධීද වෙයි. ඒ බව පසුගිය වසරේ පාර්ලිමේන්තුව විසුරවමින් ජනාධිපති සිරිසේන නිකුත්කළ ගැසට් නිවේදනයට එරෙහිව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේද පැහැදිලිව දක්වා තිබේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත්කරන අවස්ථාවේ සිටම සැරසෙන්නේ ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුණු කූඩයට දමා  මිලිටරි ආඥාදායක පාලනයක් බිහිකිරීමට නොවේද ? 


ආඥාදායක පාලනයක් වෙනුවෙන් : 19 සංශෝධනයත් අකුලයි !

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂටත් වඩා පෙරට අඩියක් තබා ඇත්තේ, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 9 වන පිටුව ආරම්භයේදීමය. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැති ප්‍රශ්න ඇතිකරන  ලෝක බලවතුන්ගේ අවශ්‍යතා මත වුවක් බව කියමින් ජනතාවද නොමග යවමිනි. ස්වාධීන පොලිස් කොමිසම, ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම,  අල්ලස් හෝ දුෂණ වංචා කොමිසම පමණක් නොව ද්විත්ව පුරවැසියෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම වලක්වා තැබීම පවා අහෝසි කරලන්නටය. එක් අයෙකුට දෙවරකට වඩා ජනාධිපතිවීමට අවස්ථාව නොමැති සීමාව ඉවත්කර ගන්නටය.

යලිත් ඒකාධිපති වියරුවක් වෙත රට ගෙනයාමේ සුදානම මේ ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක පිටුවක සාක්ෂි සහිතවම ඇත්නම් ඒ පාලනයක් තුළ මහා බියකරු මිලිටරි ආඥාදායකත්වයක් මිස අන් යමක් නොමැත.