''රට නොබෙදා බලය බෙදමු'' - අගමැති


ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා අදහස් දැක්වූ බහුතර පාර්ශවයන් මේ වන විට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව පෙන්වා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ, මෙහිදී අපගේ ඉලක්කය විය යුත්තේ රට නොබෙදා බලය බෙදීම බවත් අවධාරණය කළේය.

ඒකීය යන වචනයෙන් අර්ථ නිරූපණය විය යුත්තේ එක රටක් යන්න බව අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

ඊයේ (16 වන දා) යාපනය උදයන් පුවත්පත් කාර්යාලය වෙත ගොස් එහි කර්තෘ මණ්ඩල සාමාජිකයන් සමග සාකච්ඡාවක නිරත වූ අවස්ථාවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අගමැතිවරයා පෙන්වා දුන්නේ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අවසන් තීන්දුව ගැනීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුව හා ජනතාව වෙත බවය.

ඒ නිසා බහුතර ජනතාවගේ එකඟත්වය ලබා ගනිමින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කාර්යය ඉදිරියට ගෙන යා යුතු බව ද අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන්නේ දැයි යනුවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ඔහු පැවසූයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පමණක් නොව, ආර්ථික හා සමාජයීය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස ඔසවා තබන්නට නම් ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට, ඉන් පසුව එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. සුළුතර ආණ්ඩුවක් සහිතව තමන් ජනතාවට දිනා දුන් ජයග්‍රහණ තව තවත් ශක්තිමත් කර, තහවුරු කළ හැක්කේ බහුතර ආණ්ඩුවක් ඔස්සේ බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.