යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද ජනතා අයිතියට පත්වේ



යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද (ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා) පෙරවරු 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත වෙයි. මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වෙයි.

මෙමගින් උතුරු පළාතේ ජනතාවට සෘජුවම ජාත්‍යන්තර ගුවන් ගමන් පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මේ අනුව ඉන්දියානු ප්‍රාදේශීය ගුවන් තොටුපොළවල් වන චෙන්නෛ, තිරුචි සහ කොචි සිට ශ්‍රී ලංකාවේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ වීමට නියමිතය. ඉන්දියානු 'එයාර් ඉන්දියා' සමාගමට අනුබද්ධ 'අලියන්ස් එයාර්' ගුවන් සමාගම විසින් මෙම ගුවන් ගමන් මෙහෙයවනු ලැබේ.

යාපනයේ සිට ගුවන් ගමනක් සඳහා කොළඹ බලා ගමන් කරන පුද්ගලයෙකුට ගොඩ බිමින් කිලෝ මීටර 400 ක පමණ දුරක් ගමන් කිරීමට සිදුව තිබිණි. ඒ සඳහා කුලියට වාහනයක් ලබා ගන්නේ නම් අමතර වශයෙන් රුපියල් 35,000 ක පමණ වියදමක් දරන්නට ඔවුනට සිදු විය. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීමත් සමගම උතුරේ ජනතාවට විශාල ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇත. ඉන්දියානු නගර ගණනාවක් සමග සෘජුවම සම්බන්ධ වීමට ලැබීමට අමතරව, මෙම ගුවන් තොටුපොළ මගින් යාපනය අර්ධද්වීපයේ ජනතාවට ව්‍යාපාරික සහ වානිජමය අවස්ථාවන් පුළුල් වීමක්ද සිදු වනු ඇත.



යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වශයෙන් අළුතෙන් නම් කරන ලද පලාලි ගුවන් තොටුපොළ යාපනය නගරයෙන් කිලෝ මීටර 20ක් ඈතින් වූ පලාලි හි පිහිටා ඇත. ගුවන් තොටුපොළේ ධාවන පථය කිලෝ මීටර 2.3 ක් දක්වා දීර්ඝ කර ඇති අතර මීළඟ අදියරේදී එය තවත් කිලෝ මීටරයකින් දීර්ඝ කිරීමටද අපේක්ෂිතයි. ගුවන් ගමන් පාලක මැදිරියක්, මගී පර්යන්තයක් ද අළුතෙන් ඉදි කර ඇත.

මේ හා සමාන සැලසුමක් නැගෙනහිර පළාත සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක කිරීමට රජය විසින් පියවර ගෙන ඇත. ඒ අනුව මඩකලපුව ගුවන් තොටුපොලද ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, ළඟදීම මඩකලපුව වෙතද සෘජු ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. කොළඹ කටුනායක, හම්බන්තොට මත්තල සහ නුදුරේදී විවෘත කෙරෙන කොළඹ රත්මලාන ගුවන් තොටුපොලද සමග ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ගුවන් තොටුපොල 5 ක් ක්‍රියාත්මක වනු ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු ද, උතුරු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රාශියක් සහභාගී වේ.  

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග  මෙසේ ප්‍රකාශ කළේය. ''ගුවන්‌ තොටුපොළක් මගින් ගුවන් ගමන් පහසුව පමනක් නොව විශාල සංවර්ධනයක් ඇති වේ. එමගින් රැකියා විශාල වශයෙන් ‍උත්පාදනය වෙයි. එමෙන්ම මින් ඉදිරියට උතුරේ ජනතාවට කොළඹ කටුනායකට නොගොස් යාපනයේ සිටම දකුණු ඉන්දියාවට යාමට හැකි වෙයි. මූලික සැලසුම්වලදි අප බලාපොරොත්තු වූයේ සතියකට ගුවන් වාර 03 ක් මෙහෙයවීමට නමුත් දැන් අපි දවසකට එක වාරයක් බැගින් ගුවන් ගමන් අරඹන්නට අපේක්ෂා කරමු. "


යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ වෙයි. යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 250ක් වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවයි. ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන පවසන්නේ අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ආස්ථරණය කළ බවයි. ඒ සමඟම ආසන 72ට අඩු බොම්බඩියර් - 100 වර්ගයේ ගුවන් යානා පලාලි ගුවන්පොළෙහි හැසිරවීමේ අවස්ථාව උදා වේ.