ගෝඨාභයගේ බදු සහන පට්ටපල් මුසාවක්

කොටින්ම කියනවා නම් නිදහස් සෞඛ්‍ය සේවයෙන් නිදහසේ බෙහෙත් හේත් ලබාදීම සඳහා ගෙවනා මුදල බිලියන 43 කි. සමෘද්ධියට 2018 වියදම් කරන ලද්දේ බිලියන 40 යි. ඒ වගේම සෙබලූන්ගේ ජීවිත පරිත්‍යාගයන්ට හා ඔවුනගේ අතපය අහිමිවීමට ගෙවන මුදලත් රුපියල් බිලියන 41 කි.

පාඨලී චම්පික රණවක 

දවසින් දවස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් කියන්නේ කුමක්දැයි වටහා ගන්නේ නැතිව විවිධාකාරයේ පොරොන්දු ජනතාව ඉදිරියේ තබමින් සිටී. අනුරාධපුරයට ගිය ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ පොහොර නොමිලේ ලබාදෙන බවයි. අද පවතින මිල ගණන් අනුව පොහොර නොමිලේ ලබාදීම සඳහා අඩුම තරමින් රුපියල් බිලියන 35 ක්වත් වැයවෙනු ඇත. එමෙන්ම පසුගියදා තේ කර්මාන්ත හිමියන් අමතමින් ඔහු ප‍්‍රකාශ කළේ වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරන බවත් පේයී බද්ද සහමුලින්ම ඉවත්කරන බවත් ය. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීමට ගියහොත් රුපියල් බිලියන 215 ක අඩුවක් අයවැයට එන අතර පේයී බද්ද ඉවත් කළොත් රුපියල් බිලියන 41 ක් ඉවත්වනු ඇත. ඔහු දැනමටත් ප‍්‍රකාශ කර ඇති එම කරුණු තුන එනම්, පොහොර සහනාධාරය ඉවත් කිරීම, පේයී බද්ද ඉවත් කිරීම, වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීම යන කරුණු විසින් රුපියල් බිලියන 290 ක් හෝ ඊට වැඩි ගණනක හිඟයක් ආණ්ඩුවේ ආදායම්වලට එකතු වනු ඇත. මෙය සරළව ගතහොත් ආණ්ඩුවේ ආදායම් දැනට පවතින තත්වයන් යටතේ ආණ්ඩුවේ ආදායම් හා අදායම්වලින් 1/4 කට ආසන්න ප‍්‍රමාණයකි. කොටින්ම කියනවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 2% ක පමණ විශාල ප‍්‍රමාණයකි. ඔහුට වෙනත් ආදායම් උපක‍්‍රම නොතිබුණහොත් මෙය පියවාගැනීම සඳහා රජයේ සේවකයින්ට ගෙවන පඩිනඩි වලින් 15% ක් කපා හැරිය යුතුයි. නැතහොත් රජයේ සේවකයින්ට ගෙවන විශ‍්‍රාම වැටුප්වලින් 85% ක් කපා දැමිය යුතුයි.



කොටින්ම කියනවා නම් නිදහස් සෞඛ්‍ය සේවයෙන් නිදහසේ බෙහෙත් හේත් ලබාදීම සඳහා ගෙවනා මුදල බිලියන 43 කි. සමෘද්ධියට 2018 වියදම් කරන ලද්දේ බිලියන 40 යි. ඒ වගේම සෙබලූන්ගේ ජීවිත පරිත්‍යාගයන්ට හා ඔවුනගේ අතපය අහිමිවීමට ගෙවන මුදලත් රුපියල් බිලියන 41 කි. මේ සියල්ල එකතු කළ ද එම සහනාධාරය ලබාදීමට හැකියාවක් ඇත්තේ නැත. ඒ නිසා තමන් ලියා තිබෙන කොළ කියෙව්වාට ඒවයේ ආර්ථික බව ගැන දන්නේ නැතිව කරන මේ ප‍්‍රකාශවලින් පෙනී යන්නේ රට පාලනය ගැන හෝ ආර්ථික කළමනාකරණය ගැන කිසිඳු දැනුමක් නැති බවයි. වහාම ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් ආදායම් උපදවන ආකාරය පිළිබඳව රටට හෙළි කළ යුතුයි. ඔවුනගේ පවුල් පාලනය විසින් රටතුළ ඇති කරන ලද මහා ණය කන්දත්, ණය බරත්, ඔහු විසින් පාලනය කරන ලද ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමත්, මිහින් ලංකා ඇතුළු ආයතන විසින් ඇතිකළ දැවැන්ත ණය බරත් සලකා බලන විට පසුගිය කාලයේ රජයට වැට් බදු ආදිය වැඩි කිරීම සිදු වූයේ මේ ණය බරින් රට බංකොලොත් බවින් ගලවා ගැනීමට බවද ප‍්‍රකාශ කළ යුතුයි. තවදුරටත් මොවුන් ආර්ථික කළමනාකරණය ගැන කිසිඳු මූලධර්මයක් නොදන්නා බවට මීට වඩා සහතිකයක් අවශ්‍ය නැත.