''සබ්රි - ගෝඨාගේ චින්තනයෙන් වෙනස් වෙලා'' - අජිත්




ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ පසු ඡන්දේ නොදෙන මුස්ලිම්වරුන්වරුන්ට පහරදෙනු ඇති බව ඔහුගේ නීති උපදේශක අලි සබ්රි පසුගියදා මුස්ලිම් ප්‍රජාව හමුවේ පැවසූ බවත්, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුවහොත් ඔහුට ඡන්දය නොදෙන රජයේ සේවකයින් පවා පීඩාවට පත්කරනු ඇති බව අද (29) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී   කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,

අලි සබ්රිගේ ප්‍රකාශය බරපතලයි

''පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකතුමාගේ නීති උපදේශක, ඒවගේම බොහොම කිට්ටුවන්ත, ජනාධිපති නීතිඥ, අපිත් හොඳට දන්න අල් සබ්රි මහත්මයා ප්‍රකාශ කරනවා, ඔවුන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරාට පස්සේ ඡන්දේ නුදුන්න මුස්ලිම් මිනිස්සුන්ට ගහනවා කියලා. 

අලි සබ්රි වගේ කෙනෙක් මේක කියන එකයි බරපතලකම, ජනාධිපති නීතිඥ කෙනෙක්, ගෝඨාභය රාජපක්ෂගේ ඉතාම කිට්ටුවන්තයෙක්. ඒවගේම රටේ යම් මතයක් හදන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම සිංහලෙන් කතාකරන්න පුළුවන් මුස්ලිම් නායකයන් අතර කෙනෙක්.  

දිනන්න - දිනුවට පස්සේ විරුද්ධවාදීන්ට පහරදෙන්න 

අලි සබ්රි වගේ කෙනෙක් කියනවා නම් ඡන්දේ නොදෙන මුස්ලිම් මිනිස්සුන්ට අපි ගහනවා, දිනුවම කියලා එය ඉතාම බරපතල ප්‍රකාශයක්. ඒගොල්ලන්ගේ සැලැස්ම තමයි කොහොම හරි දිනන්න, දිනුවට පස්සේ විරුද්ධවාදීන් සියළුදෙනාට පහරදෙන්න, ගහන්න, මරන්න, ඒවගේම අර කලින් - 2015 ට කලින් තිබුණා වගේ  සදාකාගිකව බලයේ සිටීමේ බල ව්‍යාපෘතියකට යන්න. ඔබට මතකයි, මේ රටේ රජයේ සේවකයන්ට හොඳට මතකයි, ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරු පාසලට ගිහිල්ලා විදුහල්පතිවරුන්ව දණගැස්සුවා. ඒ ආණ්ඩුවේ ඇමතිවරු ගමේ සමෘද්ධි නිළධාරීයාව ගහේ ගැට ගහලා ඔහුට පහරදුන්නා. රටේ ඉහළම විනිශ්චයකාරවරුන්ට බලපෑම් කළා මේ රටේ පළවෙනි අග්‍ර විනිශ්චයකාරතුමිය, බොහොම දුක්විඳලා තමන්ගේ දැනුමෙන් රටේ ඉහළම තැනට ගිය ශ්‍රේෂ්ඨ නීතිඥතුමිය ශිරාණි බණ්ඩාරනායකව බලහත්කාරයෙන් තනතුරින් නෙරපලා දැම්මා. 


සබ්රිත් දැන් වෙනස් වෙලා

ඒක සබ්රි දන්නවා. ඒ ගැන සබ්රිලට අවබෝධයක් තියෙනවා. ඒ දේවල් වැරදියි කියලා පෞද්ගලිකව සබ්රි අපිත් එක්ක කියනවා. හැබැයි ඒ සබ්රිම අද කියනවා අපි දිනනවා, දිනුවට පස්සේ අපිට උදව් නොකළ අයට ගහනවා කියලා. ඒක තමයි ගෝඨාගේ චින්තනය. සබ්රිත් වෙනස් වෙලා දැන්. සබ්රිත් ගෝඨාගේ ඇසුරෙන් ගෝඨා චින්තනයට ගිහිල්ලා. ඉගෙනගත්ත දේවල් නීතියේ ආධිපත්‍යය පිළිබඳ දැනුම, හැඟීම නැති වෙලා. ඒක තමයි ඒ කඳවුරේ බරපතලකම'' යන්නයි 












සබැඳි පුවත්

අලි සබ්රි - ගෝඨට ඡන්දේ ගන්න මුස්ලිම් ප්‍රජාවට තර්ජනය කරයි