''හැබෑ කරවන හීනයන්ගෙන් පිරුණු රාජ්‍යයක් හදනවා'' - අනුර



“විනාශකාරිත්වයේ ඔටුනු පළන් කණ්ඩායම් බලය හොබවන රාජ්‍යයක ඔබට අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟෙන්නේ කොහොමද? අපිට අනාගතය ගැන විශ්වාසයයි, මේ සමාජය වෙනස් කිරීම සඳහා අධිෂ්ඨානය හා ධෛර්ය අප සතුව තිබෙන නිසා. මේ රටේ සෑම තරුණ තරුණියකුගෙන්ම අප ඉල්ලා සිටින්නේ, ඔබේ අනාගතය පිළිබඳ ගොඩනැගී තිබෙන අවිශ්වාසය, අනාරක්ෂිත ස්වභාවය හා බියසුළු ස්වභාවය වෙනස් කරමින් ඉතා සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කරන්න අපි සූදානම්. අපේ මාතෘභූමියටත් ජනතාවටත් විශ්වාසවන්ත අනාගතයක් අපි නිර්මාණය කරනවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (27) දින කොළඹ, විභාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ සමුළුව අමතමින් පැවසුවේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත්  අවධාරණය කළේ, 


ලෝකය පනින පිමි තුළ ඇතුළත්ව තිබෙන්නේ නව තාරුණ්‍යයි 


“ලෝකය අත්පත් කරගන්නා ජයග්‍රහණ තුළ, ලෝකය පනින පිමි තුළ ඇතුළත්ව තිබෙන්නේ නව තාරුණ්‍යයයි. අපි විශ්වාස කරනවා ලංකාවේ දේශපාලන, ගමන්මග අපේ අනාගතය, දරුවන්ගේ අනාගතය තිරසාර ලෙස නැවුම් මාවතකට යොමු කිරීම සඳහා ලංකාවේ තාරුණ්‍යය සූදානම් වන බව කියන පණිවුඩය දෙන්න තමයි අද ඔබ මෙතන රැස්වෙලා ඉන්නේ කියලා. ඒක අපිට විශාල ධෛර්යයක් සහ ආශ්වාදයක්.

ඉතාම විකෘතිකාමී අනාගතය පිළිබඳ දැක්මක් නැති, මාතෘභූමිය හෝ ජනතාව පිළිබඳ බැඳීමක් නැති පරපුටු කණ්ඩායමක් විසින් අද තාරුණ්‍ය ඇතුළු මුළු සමාජයම කෙළසමින් තිබෙනවා. අපි කිසිවෙකුටත් යුක්තිසහගත අයිතියක් නැහැ අපේ මව්බිම හෝ ජනතාව මේ තරම් විනාශකාරී තත්වයකට ඇදගෙන යද්දීත් ඒ හමුවේ නිහඬව ඉන්න.

රටක අනාගතය ගැන දැක්මක් නැති පාලකයෝ ඉද්දි තරුණයන්ට ෂුවර් අනාගතයක් කොහෙන්ද ? 


අප මෙතන පෙළගැසී සිටින්නේ අපේ මාතෘභූමියට නැවුම් මාවතක් විවෘත කරගැනීමේ අධිෂ්ඨානය හා ධෛර්යය පෙරදැරි කරගෙනයි. ඔබ ඉදිරිපත් කළ ප්‍රශ්න අතර ‘අනාගතය ෂුවර් නැහැ’ කියන ප්‍රශ්නයකුත් තිබෙනවා. රටට අනාගතයක් නැතුව ඔබේ අනාගතය ෂුවර් වෙන්නේ කොහොමද?  රටක අනාගතය පිළිබඳ වැඩපිළිවෙළක් හා දැක්මක් නැති පාලකයෝ ඉන්න විට තරුණයන්ට ෂුවර් අනාගතයක් හැදෙන්නේ කොහොමද?

විනාශකාරිත්වයේ ඔටුනු පළන් කණ්ඩායම් බලය හොබවන රාජ්‍යයක ඔබට අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟෙන්නේ කොහොමද? අපිට අනාගතය ගැන විශ්වාසයයි, මේ සමාජය වෙනස් කිරීම සඳහා අධිෂ්ඨානය හා ධෛර්ය අප සතුව තිබෙන නිසා. මේ රටේ සෑම තරුණ තරුණියකුගෙන්ම අප ඉල්ලා සිටින්නේ, ඔබේ අනාගතය පිළිබඳ ගොඩනැගී තිබෙන අවිශ්වාසය, අනාරක්ෂිත ස්වභාවය හා බියසුළු ස්වභාවය වෙනස් කරමින් ඉතා සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කරන්න අපි සූදානම්. අපේ මාතෘභූමියටත් ජනතාවටත් විශ්වාසවන්ත අනාගතයක් අපි නිර්මාණය කරන්න ඕන. ඒක පළමු කාරණය.

බොහෝ අය දේශප්‍රේමීත්වය ගැන නන්දොඩවනවා 

මේක බොහෝ අය දේශප්‍රේමිත්වය ගැන නන්දොඩවන වෙලාවක්. මේක කෛරාටික, භක්තිවන්තකමක්. මාතෘභූමිය ගැන කිසිදු හැඟීමක් නැතිව ඉන් පලාගිය මිනිසුන් යළි මාතෘභූමිය පිළිබඳව, ජනතාව පිළිබඳව කෛරාටික දයාන්විතභාවයකින් කථාකරන්නට පටන් අරන් තිබෙනවා. කෛරාටික වදන්වලින් දිනපතා අපේ කන් පුරවනවා. අපේ මාතෘභූමියට අවංකව ආදරය කරන මිනිස්සු අපි. එය කිසිම අභියෝගයක් හමුවේ, වරප්‍රසාදයක් හමුවේ, වරදානයක් හමුවේ, බියගැන්වීමට දරන උත්සාහයක් හමුවේ, පලායන අත්හරින ආදරයක් නොවෙයි.

මේ රට මේ ගහළ කණ්ඩායම්වලින් මුදා ගැනීමේ කාර්යයට අපි නොබියව පෙරට ආ යුතුයි. අපි ඒකට සූදානම්. තරුණයන්ට සුරක්ෂිත අනාගතයක් වැඩිහිටියන්ට සුරක්ෂිත ජීවිතයක් අපේ බාල පරම්පරාවට සැබෑ කරවන සිහිනයන්ගෙන් පිරුණු රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. අපේ ආර්ථිකයෙන් විශාලම පංගුවක් අපේ තරුණ පරම්පරාව අතින් නිර්මාණය විය යුතුයි.


මේ හැම වෘත්තියකටම නිසි ගරුත්වයක් හා නිසි වටිනාකමක් ලැබෙන සමාජයක් හදනවා

මගේ අතට ඔබේ තවත් ප්‍රශ්නයක් අවුත් තිබෙනවා. හරිහමන් ජොබ් එකක් නැහැ කියලා. සමාජයක් පවතින්නේ විවිධ වෘත්තීයවල සාමූහික ක්‍රියාකාරිත්වයෙන්. කසළ එකතු කරන්නාගේ සිට ඉහළ යැයි සම්මත වෘත්තීන් දක්වා සියලු දෙනාගේම සාමූහික ක්‍රියාකාරිත්වයකින් පමණයි සමාජයක් පවතින්නේ. අපේ පාලනයක් යටතේ සහතික වෙනවා මේ සෑම වෘත්තියකටම නිසි ගරුත්වයක් හා නිසි වටිනාකමක් ලැබෙන සමාජයක් අපි ගොඩනඟනවා. අපි හැමදෙනාටම සමාජය වෙනුවෙන් ඉටුකරන්න පුළුවන් කාර්යයක් අප නිර්මාණය කරනවා.

අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 52%ක් නියෝජනය කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රවලින්. ජාතික ධනය වැඩිකිරීමටත් ලෝක වෙළඳපොළෙන් විශාල පංගුවක් අත්පත් කරගැනීමටත් හැකිවෙන පරිදි අපි එම ක්ෂේත්‍ර පුළුල් කරනවා. අපේ රටේ තරුණ තරුණියන්ගෙන් විශාල ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රය ගැන අවධානය යොමු කර තිබෙන බව අපි දන්නවා. නමුත් අවුරුද්දක් දෙකක් යන විට ඔහු ණයකාරයෙක් වී තමයි නවතින්නේ. ලංකාවේ තරුණයෝ විදෙස් ගතවෙලා කාලයක් ඉඳලා හරිහම්බ කරගෙන ඇවිල්ලා කුමක් හෝ ව්‍යාපාරයක් රට තුළ පටන් ගන්න උත්සාහ දරනවා. සිදුවී තිබෙන්නේ කුමක්ද? අවුරුද්දක් දෙකක් යන විට අවුරුදු ගණන් හරිහම්බ කරගත් සියලු ධනය විනාශ වී, ණයකාරයෙක් බවට පත්වී යළි රටහැර යන තත්ත්වයක් උදාවෙනවා. එනිසා අපි සියලු දෙනාටම දත්ත, පුරෝකථනයන්, ලෝක වෙළඳපොළේ හැසිරීම, මේ සියල්ල පිළිබඳව ඉතාම හොඳ මාර්ගෝපදේශයක් සමග සුළු හා මධ්‍ය පරිමාණ උන්මාදයක් ලංකාව තුළ නිර්මාණය කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. රටේ තරුණයන්ගෙන් විශාල පංගුවක් ජාතික ධනය නිෂ්පාදනය කරන ඒ වෙනුවෙන් තම දැනුම, ශ්‍රමය, කාලය වැයකරන විශාල තරුණ පරම්පාවක් අපි ගොඩනඟනවා.


හැම රාජ්‍ය ආයතනයකම පුරප්පාඩු පිරවෙන්නේ ඊට අවශ්‍ය සුදුසුකම් බලලා 


අද රාජ්‍ය ආයතනවල පුරප්පාඩු පිරවෙන්නේ කොහොමද? තෙල් ඇමති මහනුවර වෙනකොට සංස්ථාව මහනුවරින් පිරෙනවා. ඔහු ගිරිඋල්ලේ වෙනකොට එහෙන් පිරෙනවා. ගාල්ලේ වෙනකොට ගාල්ලෙන්. තමන්ගේ දේශපාලනයේ අතකොළු බවට රාජ්‍ය ආයතන පත්කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි සමහරු ප්‍රසිද්ධියේ කියන්නේ ඔයාට උස නම්, සිකුරුටි, මිටි නම් කම්කරු කියලා.

සෑම රාජ්‍ය ආයතනයකම, අර්ධ රාජ්‍ය ආයතනයකම පුරප්පාඩුවක් පිරවෙන්නේ ඊට අවශ්‍ය සුදුසුකම, දක්ෂතාවය, හැකියාව තිබෙන අයගෙන් පමණයි කියලා අපි ඔබට සහතික වෙනවා. ඒ හැරුණුකොට කිසිසේත්ම දේශපාලන පත්වීම් අපි දෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවෙන් කිව්වා රැකියා දශලක්ෂයක් නිර්මාණය කරනවා කියලා. මම පාර්ලිමේන්තුවේ එවක බලවතාගෙන් ඇහැව්වා මොන රැකියාද කියලා. අද තරුණ පරපුර එදාට වඩා දැනුමෙන් සන්නද්ධයි. දියුණු වූ ශ්‍රමිකයාට, අවශ්‍යතාවයන් සංකීර්ණය වූ ශ්‍රමිකයාට, දියුණු වූ තරුණයාට, අවශ්‍යතාවයන් පුළුල් වූ තරුණයාට ගැලපෙන රැකියාවක් නිර්මාණය කරන්න මේ පාලකයන් අසමත් වී තිබෙනවා. අපි ඔබට නිර්මාණය කරන්නේ ඔබගේ දැනුම, ඔබගේ හැකියාව, ශක්තිය ඉතා හොඳින් රට ගොඩනැඟීම සඳහා උකහාගත හැකි, ඒ වගේම ඔබගේ දැනුමට, ශක්තියට, වුවමනාවට සාධාරණ වේතනයක් සහ පහසුකම් ලැබෙන නව රැකියා වෙළඳපොළක් සහිත ශ්‍රී ලංකාවක්.

මේ අතිශය නීරස, අතිශය රළු විෂම චක්‍රයේ මේ රටේ තරුණ පරපුර අපි හිරකර තබන්නේ නැති බවට සහතික වෙනවා. ඔබට වැඩකරන්න කාලයක්, විවේකීව ඉන්න කාලයක්, විනෝදයෙන් ඉන්න කාලයක්, ඔබට නිදන්න කාලයක් සහිත සුරක්ෂිත රැකියා වෙළඳපොළක් නිර්මාණය කරිමේ වගකීම අපි භාරගන්නවා.


මේ යල් පැනගිය දේශපාලනය තරුණයන්ට තිත්ත වෙලා 

මේ යල් පැනගිය දේශපාලනය තරුණයන්ට දැන් තිත්තවෙලා තියෙන්නේ. තාරුණ්‍යයට ඉදිරියට යාම සඳහා මේ දේශපාලනය තුළ දොරටු විවෘත වී තිබේද? ඉන්න හෝ හිටපු මැති ඇමතියන්ගේ පුත්තු, ජනාධිපතිගෙ පුත්තු ආදී ලෙස, අද දේශපාලනය පරම්පරාවෙන් පරම්පරාවට යන උරුමයක් බවට පත්වෙලා. එහෙම නොවී තාරුණ්‍යයට දොරටු විවෘත කරලා තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. රට ගැන කැක්කුමක් ඇගයීමක් තිබෙන මහජන සේවය, ජනතාව ගැන අකලංක වුවමනාවක් තිබෙන, රටට භක්තියක් හා ආදරයක් තිබෙන නව තාරුණ්‍යයට දේශපාලනයේ ඉදිරියටම යාම සඳහා අවශ්‍ය දොරටු විවෘත කිරීමට අපි සූදානම්.” යන්නයි.