අලි සබ්රි - ගෝඨට ඡන්දේ ගන්න මුස්ලිම් ප්‍රජාවට තර්ජනය කරයි



මෙරට මුස්ලිම් ඡන්දදායකයින්ට තර්ජනය කර ඡන්ද ලබාගැනීමේ තත්ත්වයක් අද මතුවී ඇති බව අද (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වූ එස්. එම්. මරික්කාර් පැවසුවේය. මෙහිදී ඔහු ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් සිදුකළ අදහස් දැක්වීමක දර්ශන ද පෙන්වූවේය. 

අලි සබ්රිගේ ප්‍රකාශය හා ගෝඨාභය රාජපක්ෂ ගැන අදහස් පළකල ඔහු අවධාරණය කළේ,

''එතුමගේ මේ ප්‍රකාශය ගැන මං කණගාටු වෙනවා. එතුමා මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර කියනවා ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරලා ඉවරයි. ඒ නිසා මුස්ලිම් ජනතාව ඒකේ කොටස්කාරයෝ වෙන්න ඕන. නැත්නම් අම්බානක කන්න වෙන්නේ කියලා. ජනාධිපති නීතිඥයෙක් වෙච්ච අලි සබ්රි මහත්තයා, ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූරයක් හෝ ඊට වඩා තනතුරක් බලාපොරොත්තුවෙන්, මේ වගේ මුස්ලිම් ජනතාවට තර්ජනය කිරීම සම්බන්ධව අපි කණගාටුවට පත්වෙනවා.

මුස්ලිම් ජනතාවට අම්බානක කන්න වෙනවා කියන්නේ මොකක්ද ?, ඡන්දේ දෙන්න ගෝඨාභය රාජපක්ෂට, නැත්නම් අම්බානක කන්න වෙනවා කියලා. එතකොට මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් එතුමාලා මෙහෙමද  ඡන්දේ ගන්නේ ?,  එතුමාලා එහෙනම් කරන්න තිබ්බේ මේ රටේ පල්ලි කඩන්නේ නෑ, ආගම්වාදය පතුරුවන්නේ නෑ, මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර වලට හානි කරන්නේ නෑ, ඔවුන්ට බයෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙනවා කියලා, ඒ වගේ ප්‍රචාරක ක්‍රමයක් කරන්න තිබ්බා'' යන්නයි.