‘‘රාජපක්ෂ පාලන සමයේදී කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වුවා‘‘ - අගමැති



පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් කාන්තාවන් දූෂණය කරද්දී, කාන්තාවන්ට අඩම්තේට්ටම් කරද්දී කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගත් ආරක්‍ෂක ලේකම්වරයා අද කාන්තාවන් ආරක්‍ෂා කිරීම ගැන කිඹුල් කඳුළු හෙළමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති බව පෙන්වාදුන් අගමැති රනිල් වික්‍රමසිංහ එදා කාන්තාවන් සෙල්ලම් බඩු සේ සැලකූ පිරිසකගෙන් දැන් සුරක්‍ෂිත භාවයක් බලාපොරොත්තු විය හැක්කේ කෙලෙස ද යනුවෙන් අද (27) පැවැති කාන්තා සම්මේලනය අමතමින් ප්‍රශ්න කළේය.

කොළඹ, කාන්තා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැති වෘත්තීයවේදී කාන්තා සම්මේලනය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ, වැඩිදුරටත් පෙන්වාදුන්නේ කාන්තාවන් වෙනුවෙන් මෙතෙක් සාධනීය මෙහෙවරක් ඉටු කළේත්, අනාගතයේදී ඉටු කරන්නේත් එක්සත් ජාතික පක්‍ෂය විසින් බවය. ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයත් සමගම කාන්තාවන් වෙනුවෙන් විශේෂ සැලසුම් රාශියක් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ,  

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වුවා

"පසුගිය රාජපක්‍ෂ පාලන කාලය තුළ ප්‍රාදේශීය සභා සභාපතිවරු කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වීමට කටයුතු කළා. තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ කාන්තා දූෂණ සිද්ධිය රටේ සියලූ දෙනාමටම දැනගන්න ලැබුණා. මෙවැනි කාන්තාවන් දූෂණය කිරීම් හා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් වාර්තාවී තිබුණත් ඒ කිසිවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැහැ. එලෙස නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව පොලීසිය අයත් අමාත්‍යංශ ලේකම්වරයා පරීක්‍ෂණ පැවැත්වූයේ නැහැ. ඒ කාලය තුළ පොලිසිය අයත් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ක්‍රියා කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදෙනවා දැයි කියා මම මේ රටේ කාන්තාවන්ගෙන් විමසන්න කැමැතියි. 


වසර 10 ක රාජපක්‍ෂ පාලන කාලය තුළ දේශපාලනඥයින් විසින් කාන්තාවන් දූෂණය කිරීම හා කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන විට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට අමාත්‍යවරයා හා ලේකම්වරයා එක්ව දූෂකයන්ව ආරක්‍ෂා කිරීමට ක්‍රියා කළා. එම ක්‍රියාවලට සම්බන්ධ වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඔවුන් සිරගත කිරීමට ක්‍රියා කළේ නැහැ. දූෂකයන් තම තමන්ගේ දූෂණ සාද පවත්වමින් සැමරුවා. එවන් තත්වයක් උදා කළ  හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා වශයෙන් පත් කරන ලෙස දැන් ඔවුන් ඉල්ලා සිටිනවා. 

මේ ආරක්ෂක ලේකම්වරයා යටතේ කාන්තාවන්ට ආරක්ෂාවක් ලැබේවිද ? 

එලෙස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති බවට පත්වුවහොත් කාන්තාවට ආරක්‍ෂාවක් ලැබෙනවාද, කාන්තාවන්ට ඉදිරියට යෑමට හැකියාව ලැබෙනවාද? ජාතියෙන් සියයට 52 ක් නියෝජනය කරන කාන්තාවන්ට අරක්‍ෂාව සැපයීමට ක්‍රියා නොකළ පුද්ගලයෙකුගෙන් ජාතික ආරක්‍ෂාවක් ලබා ගත හැකිද ?
  
කාන්තාවන් වෙනුවෙන් සාධනීය මෙහෙවරක් ඉටු කළේ අපියි. ඒ සාධනීය මෙහෙවර ඉදිරියට ගෙන යමින් කාන්තාවන්ට ආරක්‍ෂාව සහ නිසි ගෞරවය තවදුරටත් ලබා ගැනීම උදෙසා  සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.” යන්නයි.