‘‘දේශපාලනය ශුද්ධ නොකර රට හදන්න බැහැ‘‘ - අනුර



තම සංවර්ධන මාවත කොන්ක්‍රීට් වනාන්තර නොවන බනත් ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙන ඒම බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක ඊයේ (26) පදනම් ආයතනයේ පැවති ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අවධාරණය කළේය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ,

කැබිනට් ඇමති ධුර 30කටත් නියෝජ්‍ය ඇමති ධුර 30කටත් සීමා කිරීම, රාජ්‍ය සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර අහෝසි කිරීම, ජනාධිපතිවරයාගේ වියදම් 90%කින් කපා හැරීම, මැතිවරණ පොරොන්දු නීතිමය ලියවිල්ලක් බවට පත් කර ජනතාව හා බද්ද කිරීම, මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර අහෝසි කිරීම, හිටපු ජනාධිපතිවරු සහ පවුලේ සාමාජිකයන් ජනතා බදු මුදලින් නඩත්තුවීම අහෝසි කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම, රට පුරා ඉදිකර ඇති ජනාධිපති මන්න්දිර පුස්ථකාල, සංචාරක නිකේතන හෝ ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි වෙනස් කිරීම, ලෝක ණය කණ්ද ගෙවා දැමීම, නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය ආදී කරුණු ගණනාවක් අන්තර්ගත වේ. 

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කළේ, 

“ලබන නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරන ප‍්‍ර‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මේ අවස්ථාවේ එළිදක්වන්නේ, මැතිවරණයක දී දේශපාලන පක්‍ෂයක් වශයෙන් ජාතික ජන බලවේගය හා ජනතාව අතර බැඳීම හා සම්මුතිය. මෙහි අඩංගු කරුණු ඉටු කිරීම පිළිබඳව අපට වගකීමක් තිබෙනවා. නමුත්, අපේ රටේ සිදු වී තිබෙන්නේ, මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හුදු ලියැවිල්ලක් බවට පත්කර බලයට පත්වන ආණ්ඩුව වෙනස් දේවල් ක්‍රියාත්මක කිරීමයි. අපි බලය ගත්තා ම නීතියක් සම්පාදනය කරනවා, මැතිවරණයක දී ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හා ජනතාව අතර නීතිමය බැඳීමක් ඇති වන ආකාරයට.

ඒ බැඳීම යම් කෙනෙක් උල්ලංඝනය කරනවා නම්, ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය ඡන්දදායකයන්ට ලබා දෙනවා. අප මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේ රට තිබෙන තත්ත්වය කුමක් ද? ණය උගුලක හිර වීම, විදේශ වෙළෙඳාමේ විශාල පාඩුවක් පැවැතීම, අපරාධවලින් ගහණ වෙච්ච රාජ්‍යයක් නිර්මාණය වීම, සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සැකය, වෛරය, ක්‍රෝධය වර්ධනය කර තිබීම, නීතියේ සහ විධානයේ ආධිපත්‍යය කඩාවැටී තිබීම, ජනතාවගේ මූලික ජීවන අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වීම වැනි අංශ ගණනාවකින් බිඳවැටී තියෙන්නේ. අප මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කරන්නේ, බිඳවැටුණු රාජ්‍යය යළි ගොඩනඟන්න.

නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීම අපේ ප්‍රමුඛතම කාර්යයි 

මේ වෙනුවෙන් මූලික පදනම් තුනක් ඉටු කළ යුතුයි. නීතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම ප‍්‍රමුඛතම කාර්යභාරයයි. ජනාධිපති, අගමැති හෝ වෙනත් ඕනෑ ම දේශපාලන බලවතෙක් නැත් නම්, නිලධාරියෙක් නීතියට යටත් නොවන පුද්ගලයෙක් නොවිය යුතුයි. අපේ රටේ ගොඩනැගෙන පාලකයන් හැම විට ම නීතියට උඩින් හිටියේ. බලවත්, දුප්පත්, ධනවත් කිසිදු භේදයකින් තොරව හැම දෙනාට ම නීතියේ ආධිපත්‍යය ඉටු වන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව, අනෙකුත් පරීක්‍ෂණ ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය දැවැන්ත ප‍්‍රතිසංවිධාන ක්‍රියාවලියකට යටත් කරනවා.

ඊ ළඟට වංචාව, දූෂණය සහ නාස්තිය රජ කරන දේශපාලනයක් වෙනුවට සියලු ම ආකාරයේ මහජන මුදල් කොල්ලයන් නවත්වනවා. අද වෙලා තියෙන්නේ, සියලු ම දර්ශකවලින් රට දුප්පත් තැනට දාලා, පාලකයා පොහොසත් වීමයි. දේශපාලනය ඒ වෙනුවෙන් වූ ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කර තිබෙනවා. අපි ඒ දේශපාලනය මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරනවා. ඒ වෙනුවෙන් ප‍්‍රතිසංස්කරණ ගණනාවක් අපි යෝජනා කරනවා. ඒ වෙනුවෙන් මන්ත්‍රී විශ‍්‍රාම වැටුප නැවැත්වීම, හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීම නතර කරනවා. ඒ වාගේ ම කැබිනට් මණ්ඩලය තිහකට සීමා කරනවා. නියෝජ්‍ය අමාත්‍ය ධුරත් තිහයි. කැබිනට් නොවන සහ රාජ්‍ය අමාත්‍ය ධුර අහෝසි කරනවා. යළි කිසිවකුට ඇති කිරීමට ඉඩ දෙන්නෙත් නැහැ. ඒ වාගේ ම රටට ඔරොත්තු නොදෙන තරම් වාහන ගහණයක් ඇති වී තිබෙන මන්ත්‍රීවරුන්ට බදු නිදහස් වාහන ලබා දීම නතර කරනවා. දේශපාලනය කියන්නේ, බිස්නස් එකක් නොවෙයි. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සමහර දවස්වල කෝටි හතරකට වඩා වැඩියි. අපි ඒ වියදම් 90%කින් කපාහරිනවා. ජනාධිපතිවරයා වෙනුවෙන් රට පුරා ගොඩනඟා තිබෙන මාලිගා, ඒවා පිහිටීම අනුව පුස්තකාල හෝ සංචාරක නිකේතන අදිය බවට පරිවර්තනය කරනවා.

දේශපාලන සුද්ධ කරන්නේ නැතිව මේ රට ගොඩනගන්න බැහැ 

මහජනයාගේ දේපළ කොල්ලකාගෙන සිටින පරපුටු අතළොස්සගෙන් ඒ සියලු ම ධනය යළි අත්පත් කරගෙන මහජන සුබසාධනයට යොදවනවා. දේශපාලනය ශුද්ධ කරන්නේ නැතිව මේ රට ගොඩනඟන්න බැහැ. ඒ වාගේ ම මහජන ආරක්‍ෂාවට එල්ල වී තිබෙන තර්ජනය අවසන් කිරීමට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සාමුහිකත්වය, සහජීවනය ඇති කරනවා. ඒ නිසා මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම ජනරාල්ගේ කාර්යභාරයක් නොවෙයි. දේශපාලන කාර්යභාරයක්. කිසිදු ජන කොටසක් තුළ කිසිදු අන්තවාදයක් ගොඩනැඟීමට ඉඩ නොදී මහජන ආරක්‍ෂාව තහවුරු කරනවා. අපි ඒ බවට සහතික වෙනවා. සෑම ජන කොටසක් ම තමන්ගේ සමාජයේ ගොඩනැගෙන අන්තවාදයට විරුද්ධයි. අන්න ඒ විරුද්ධ ජනතාව සහභාගී කරගෙන මේ ප‍්‍රශ්නය විසඳනවා. අපට අවශ්‍ය වී තිබෙන්නේ, මහජන ආරක්‍ෂාව තහවුරු කර ජාතික ආරක්‍ෂාව සැබෑ ලෙස ම තහවුරු කිරීමටයි. ඇත්ත ආරක්‍ෂාව තියෙන්නේ එතැන.

තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය, තමන්ගේ ආගම ඇදහීමේ අයිතිය, තමන්ගේ සංස්කෘතික අනන්‍යතා රැක ගැනීමට ඔවුන්ට තිබෙන අයිතිය අපි තහවුරු කරනවා. අපේ රටේ අනාගතය ගොඩනැගෙන්නේ මේ තුළින් කියලා අපි විශ්වාස කරනවා. උතුරෙත්, දකුණෙත් අපේ පරම්පරාවේ මිනිස්සු මිය ගියා. අදත් සමාජයේ එකිනෙකා කෙරෙහි වෛරයෙන් පෙළෙනවා. ඒ වෙනුවට අපේ දරුවන් වෙනුවෙන් සමඟියෙන්, සහෝදරත්වයෙන් ජීවත් වන රටක් නිර්මාණය කිරීමේ වගකීම ජාතික ජන බලවේගය භාර ගන්නවා. නීතියේ විධානය, මහජනතාවගේ ආරක්‍ෂාව, වංචා, දූෂණයෙන් තොර පාලනය කියන ස්ථම්භ තුන මත අපි අපේ පාලනය ස්ථාපනය කරනවා.

අපේ සංවර්ධන මාවත කොන්ක්‍රීට් වනාන්තර නොවේ 

අපට සංවර්ධනය තහවුරු කළ හැකි වන්නේ, මේ ස්ථම්භ තුන තහවුරු කිරීමෙන් පමණයි. ඉන් අනතුරුව අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය, අපේ පරිසරය, අපේ අධ්‍යාපනය, අපේ සෞඛ්‍යය ඇතුළු ප‍්‍රතිපත්ති මේ භූමිය මත ක්‍රියාත්මක කරනවා. අපේ රටට නව සංවර්ධන උපායමාර්ගයක් අවශ්‍යයි.

ඒ සංවර්ධන මාවත කුමක් ද? ඒ සංවර්ධන මාවත කොන්ක්‍රීට් වනාන්තර නොවෙයි, ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙන යන සංවර්ධනයක්. ජනතාවගේ ජීවිත සමඟ ගැටගැසුණු රට ගොඩනැඟීමේ මාවත අපි මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් එළිදක්වා තිබෙනවා. මේ මඟින් ජාතික ආර්ථිකයේ ගැටලු වාගේ ම මහජනතාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුත් විසඳනවා. අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වීම, රෝහල්වල බෙහෙත් නැති වීම, ණය බරින් මිරිකී සිටීම වාගේ කොන්දේසි ගණනාවකින් ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පෙන්නුම් කරනවා. ඒ වාගේ ම ණය කන්දෙන් ගොඩ ඒම, අය-වැය හිඟය පියවීම, විදේශ වෙළෙඳාමේ පාඩුව අවම කර ගැනීම, ආර්ථිකයේ ඉහළ තලයේ පවතින මූලික ගැටලුයි. මේ දෙක එකිනෙකට සම්බන්ධ වී තිබෙනවා. මේ දෙක ම විසඳීම ආර්ථිකය ගොඩනැඟීමේ පදනමයි. අද බලයට ඇවිත්, හෙට ආර්ථිකය ගොඩනඟන්න බැහැ. ක‍්‍රමිකව සංවර්ධනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. අවුරුදු පහක්, හයක් යන කොට ස්ථිර වශයෙන් ම ණය උගුලෙන් ගැලවිය හැකි සංවර්ධන උපායමාර්ගයක් අනුගමනය කරනවා.  මහජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳෙන්නේ මේ ආර්ථිකයේ ප‍්‍රතිලාභ සියලු දෙනා වෙත ම සාධාරණ ලෙස බෙදී යාමට සැලැස්වීමෙන්.


ඉඩම් පරිහරණය ගැන ජාතික ප්‍රතිපත්තියක් ඇතිකිරීම හා අලි මිනිස් ගැටුම වළක්වන්න එක්වෙනවා 

මේ සඳහා විශේෂයෙන් තරුණ පරපුර නව සුළු හා මධ්‍ය පරිමාණ පරම්පරාවක් වෙත යොමු කරවනවා. ඒ වෙනුවෙන් තොරතුරු හා තාක්‍ෂණය ඉතා හොඳ විභවයක් තිබෙන තැනක්. මේ වෙන කොටත් තම තමන්ගේ කැපවීමෙන් සහ ධෛර්යයෙන් ඇමෙරිකාව සහ එංගලන්තය දක්වා ම තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රයෙන් ජයග‍්‍රහණ ලබපු අය අපේ රටේ ඉන්නවා. ලෝකයේ තොරතුරු තාක්‍ෂණ වෙළෙඳපොළෙන් විශාල පංගුවක් අත්පත් කර ගන්න අපි ක්‍රියා කරනවා. ඩොලරය කඩාවැටීමත් ඒ තුළින් විසඳන්න පුළුවන්. මේ තුළින් ග‍්‍රාමීය ණයගැතිභාවයේ හිරකරුවන් බවට පත් වී ඉන්න සාමාන්‍ය ජනතාවත් මුහුණ දී සිටින අර්බුදයෙන් ගලවා ගන්න පුළුවන්. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, කුඩා තේ වතු හිමියන්, සුළු අපනයන භෝග වගා කරන්නන් වාගේ අයගේ ක්ෂේත‍්‍රවලට සාධාරණ ආදායම් ලබා දී අපි ගොඩනඟන ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්කර ගන්නවා. ඒ තුළින් කෘෂිකාර්මික නවෝදයක් ඇති කරනවා.

ඒ වාගේ ම රටේ ඉඩම් පරිහරණය පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. අලි – මිනිස් ගැටුම වැළැක්වීම, නිවාස ඉදි කිරීම් විද්‍යාත්මකව සිදු කිරීම වෙනුවෙන් ඉතාමත් ම විධිමත් ඉඩම් පරිහරණ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. වනජීවී සංරක්‍ෂණ කලාප, වන සංරක්‍ෂණ කලාප සුරක්‍ෂිත කිරීමෙන් පරිසරය සමඟ සමතුලිත සංවර්ධනයකට ප‍්‍රවේශ වෙනවා. හිතූ හිතූ තැන කර්මාන්ත හදන්න, නිවාස ඉදි කරන්න, නගර ඉදි කරන්න ඉඩ දෙන්නේ නැහැ. රටේ සම්පතක් ලෙස ඉඩම් ආරක්‍ෂා කර ගන්නවා. කෘෂිකර්මාන්තයේ දී මෙවැනි පැති ගණනාවක් පිළිබඳව අවධානය යොමු කර සිටිනවා. රට වටේ විශාල මහ මුහුදක් තිබුණත්, කාර්යක්‍ෂම ධීවර කර්මාන්තයක් අපට නැහැ. ඒ වෙනුවෙන් අපේ ජාතික ප‍්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව සෑම ධීවර වරායක් ම නවීන අංගෝපාංගවලින් සංවර්ධනය කරනවා. ධීවරයා අතට නවීන තාක්‍ෂණය පත් කරනවා. අපේ රටේ සාමාන්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාව දවසකට ග‍්‍රෑම් හැත්තෑඅටයි. නමුත්, දැන් ලැබෙන්නේ තිස්අටයි. මේ නිසා ධීවර කර්මාන්තයේ ජාතික වැදගත්කමකින් යොදවා ගන්න ක්‍රියා කරනවා. ඒ තුළින් රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව නිසි පරිදි සම්පූර්ණ කරනවා.

විදේශ වෙළඳ ගිවිසුම් වලින් රටට වූ අලාභය අඩුකරගන්න සාකච්ඡා කරනවා 

විදේශ වෙළෙඳ ගිවිසුම්වලින් රටට සිදු වී තිබෙන විශාල අලාභය අඩු කර ගැනීමට නැවත සමාලෝචනය කරනවා. ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අනුව අපට අත්පත් කර ගත හැකි කෝටි තිස්අටක ජනතාවක් දිනපතා ගනුදෙනු කරන ඉන්දීය වෙළෙඳපොළෙන් කොටසක් අපට අත්පත් කර ගත හැකියි. නමුත්, මේ පාලකයෝ අවුරුදු විස්සක් ගිහිල්ලත් එහෙම කළේ නැහැ. නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ අපේ ගම්මිරිස් වෙළෙඳපොළ, කරුංකා වෙළෙඳපොළ ජාවාරම්කාරයන්ට අත් කර ගන්න ඉඩහැරියා. ප‍්‍රතිඅපනයනය කියලා අපේ රටේ සුළු අපනයන භෝගවලට ලෝක වෙළෙඳපොළේ තිබෙන වෙළෙඳපොළත් සම්පූර්ණයෙන් විනාශ කර දැම්මා. අපේ තේත් එහෙමයි. අපේ තේ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ මත දෙකක් තිබෙනවා. එකක් ලෝක තේ වෙළෙඳපොළට යන්න ඕනෑ ‘හයි කොලිටි, හයි ප‍්‍රයිස්’ කියන සංකල්පයෙන්. තව එකක් ලංකාව තේ සඳහා හබ්එකක් බවට පත් කළ යුතු බව. ඒ මත දෙකම සාකච්ඡාවට බඳුන් කරලා අපි අනුගමණය කළ යුතු ප්‍රතිපත්තිය ගැන ක්ෂේත්‍රයේ කණ්ඩායාම් සාකච්ඡා කරලා තීරණය කරන්න ඕනා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම අපේ ඉලක්කයක්.

නව තරුණ පරම්පරාවක් බිහි කිරීම අපේ අරමුණයි 

ඊ ළඟට අද මවුපියන්ටත් බරක් වී තිබෙන දරුවන්ටත් විශාල බරක් වී තිබෙන අධ්‍යාපනයෙන් බිහි කරන්නේ කවර පුරවැසියෙක් ද? තෙතමනයක් නැති අනෙකා ගැන හැඟීමක් නැති එකිනෙකාගේ අනන්‍යතාවන් පිළිගන්න සූදානම් නැති මැෂින් එකක නට් එකක් වගේ දරුවෝ අපි හදන්නේ. ඊට පස්සේ වැඩිහිටියෝ කියන්නේ, දැන් හැදෙන දරුවෝ අපේ කාලයේ වගේ නොවෙයි කියලා. ඒ නිසා මේ අධ්‍යාපනයේ ව්‍යසනය මැනැවින් පැහැදිලි වෙමින් තිබෙනවා. දරුවන්ට ජීවිතය අහිමි කර තිබෙනවා. යළි දරුවන්ට ළමා කාලය ලබා දෙන්න ඕනෑ. ළමයා හුදු පෞද්ගලික කෙනෙක් නොවෙයි, සමාජ සත්වයෙක් බවට හැඟීම් ගොඩනඟන්න ඕනෑ. කවියක්, ගීතයක් රසවිඳින්න, සාහිත්‍ය කෘතියක් රසවිඳින්න, පරිසරයට ආදරය කරන්න පුළුවන් නව තරුණ පරම්පරාවක් බිහි කිරීම අපේ සංවර්ධන සැලැස්මේ ප‍්‍රමුඛතම අංගයයි. ඒ වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීම අප රට ගොඩනැඟීමේ මාවතයි. අපි ඒ වෙනුවෙන් අද ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ක්‍රියාමාර්ග බවට පත් කරනවා. මේ වෙන කොට පාසලෙන් එළියට ගෙන ගොස් තිබෙන අධ්‍යාපනය යළි පාසල වෙත ගෙන එනවා.

අපේ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් අද යොදා ගන්නේ රැකියාවට සුදුසුකමක් හැටියටයි. හයියෙන් දිව්වොත්, පොලිසියට ගන්නවා. උස පැන්නොත්, හමුදාවට ගන්නවා. ක්‍රීඩාව කියන්නේ ඒකට ද? ක්‍රීඩාව කියන්නේ, රැකියාවකට සුදුසුකමක් නොවෙයි. නිරෝගීසම්පන්න ජීවිතයක් සඳහා අවශ්‍යතාවක්. ඒ නිසා අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන්න  ඕනෑ. අපි පොඩි කාලේ හැම ගමකට ම වොලිබෝල් පිටියක් තිබුණා. වැවක්, ගඟක් ළඟ හිටපු දරුවෝ එගොඩ මෙගොඩ පිහිනුවා. වෙල් ඉපනැල්ලේ බෝල ගැහැව්වා. අද එහෙම සංස්කෘතියක් නැහැ. ක්‍රීඩාව සහතිකයක් සඳහා සීමා කෙරී තිබෙනවා. ඒ නිසා ලෙඩවලින් පිරිච්ච ජාතියක් නිර්මාණය වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, අපේ රටේ අවුරුදු විස්සට වැඩි පිරිසගෙන් සියයට විසිපහක් කවර හෝ බෝ නොවෙන රෝගයකින් පෙළෙනවා කියලා. ක්‍රීඩා සංස්කෘතියක් ඇති කර ලෙඩ වෙච්ච ජාතිය සුවපත් කරනවා.

සාහිත්‍යයේ - කලාවේ නව ප්‍රබෝධයක් ඇති කරනවා

අපේ රටේ සාහිත්‍යයේ, කලාවේ නව ප‍්‍රබෝධයක් ඇති කරනවා. මේ විෂයයනුත් අධ්‍යාපනයත් එක්ක සම්බන්ධ කරනවා. ක්‍රීඩාවත් එහෙමයි. දුප්පත්භාවයට පත් කර තිබෙන අපේ රටත්, අසරණභාවයට පත් කර තිබෙන අපේ ජනතාවත් එයින් මුදා ගන්න රාජ්‍යයක් ගොඩනැඟීමේ සැලැස්මත් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ අඩංගු වෙනවා. මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජනතාව අතරට පත් කරන කොට බොහෝ අය අපෙන් අහන ප‍්‍රශ්නයකුත් තියෙනවා. “මේ ප‍්‍රතිපත්ති හොඳයි. හැබැයි, මේවා ක්‍රියාත්මක කරන්න ඉන්නේ කවුද?” කියලා අහනවා. මම ඉතා වගකීමෙන් කියන්නේ, ඔය රට පාලනය කරපු ඔක්කෝට ම වඩා හොඳට මේ ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් අපට ඉන්නවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මුදල් ඇමති ඇය. මහින්දගේ ආණ්ඩුවේ මුදල් ඇමති ඔහු. රනිල්ගේ ආණ්ඩුවේ මුදල් ඇමති රවී, මංගල. මේ අයගෙන් රට ගොඩනඟන්න පුළුවන් ද? අපට ආර්ථික ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සහිත දැනුම තිබෙන විශාල පිරිසක් ඉන්න බව සඳහන් කරනවා.

අද සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ ඉන්න ප‍්‍රමුඛතමයන් මේ වේදිකාව ඉදිරිපිට ඉන්නවා. ලෝකයට ම සාහිත්‍ය කලාව ගෙන යන්න පුළුවන් දක්‍ෂයෝ. ඔවුන් එක්ක සංස්කෘතික ජීවිතයක් ගොඩනඟන්න පුළුවන්. ඒ වෙනුවෙන් දැවැන්ත ම සම්පත අපි ගාව තියෙනවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රයත් එහෙමයි. අධ්‍යාපන විශේෂඥයන් වාගේ ම දරුවන් ඉතා හොඳින් තේරුම් ගත්ත ආචාර්ය, මහාචාර්යවරුන් ඉන්නවා. අපේ මේ සම්පත ගැන කියන කොට විරුද්ධ බලවේග ජාතික ආරක්‍ෂාව ඉස්සරහට දානවා. අපි කියන්නේ, ඒ වෙනුවෙන් හමුදාවත්, පොලිසියත් ඉන්නවා. දේශපාලනඥයන්ගේ වගකීම ඒ හමුදාව, පොලිසිය විධිමත් ලෙස මෙහෙයැවීමයි. ඔවුන් විධිමත්ව මෙහෙයවන්න පුළුවන් අත්දැකීම් සහිත කණ්ඩායමක් අප සමඟ ඉන්නවා. මේ දක්වා බලයේ සිටි කණ්ඩායම් පොලිසිය උපයෝගී කර ගත්තේ, තමන්ගේ අයගේ පරීක්‍ෂණ යට ගහන්න. එහෙම ආරක්‍ෂක කණ්ඩායම් අපි ළඟ නැහැ. ඒ ගොල්ලෝ ගාව නම් ඉන්නවා. අපි ගාව ඉන්නේ රටේ ආරක්‍ෂාව, මහජනයාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විය හැකි අනතුරු කල්.තියා දකින ඒ අනතුරු වළක්වා ගැනීමේ උපදෙස් ලබා දිය හැකි කණ්ඩායමක්.

රට ගොඩනගන්න පුළුවන් කණ්ඩායමක් අප සමග ඉන්නවා

ඒ නිසා මේ සෑම ක්ෂේත‍්‍රයක ම මේ ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්, රට ගොඩනඟන්න පුළුවන් කණ්ඩායමක් අප සමඟ ඉන්නවා. මා නැවත නැවතත් කියන්නේ, රටක් ගොඩනැඟීම තනි පුද්ගලයකුගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නොවන බවයි. මම ඉන්ද්‍රජාලිකයෙක් නොවෙයි. මේ රට ගොඩනැඟීම යනු අපි හැමෝගේ ම සාමුහික ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක්. මානවයා මේ තරම් ජයග‍්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ, සාමුහික ක්‍රියාකාරීත්වයෙන්. ඒ සාමුහික සම්පත අපට තිබෙනවා. මෙය උපයෝගී කර ගන්න සල්ලි කොහෙන් ද කියලත් අපෙන් අහනවා. එයාර් ලංකා එකේ පාඩුව රුපියල් කෝටි දහහතර දහස් දෙසීයයි. අපේ රටේ ඉස්පිරිතාල තියෙන්නේ, හයසියපනහයි. හැම ඉස්පිරිතාලෙකට ම කෝටි විසිපහ ගාණේ ආසන්න වශයෙන් එයාර් ලංකා එකේ පාඩුවෙන් ලබා දෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි දහදහස් හාරසිියයයි. විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි දෙදහස් නවසියයයි. මේ සෑම ආයතනයක් ම ලාභ ලබන ව්‍යාපාර බවට පරිවර්තනය කළ හැකියි. ඒ තුළින් ආදායම් උපයන්න පුළුවන්. මේ සෑම රාජ්‍ය ආයතනයක් ම ලාභ ලබන ආයතන බවට අපි පත් කරනවා.

මේ දේ කළ හැකි වන්නේ, ඒ පිළිබඳව නිපුණතාවක් තිබෙන මානව සම්පත යෙදැවීමෙන්. නමුත්, අද කරන්නේ, පැරැදුණු අපේක්‍ෂකයා, එහෙම නැත් නම්, අයියා හෝ මල්ලී හෝ ඥාතියා මේ ආයතනවලට පත් කිරීමයි. අපි කරන්නේ, ආයතනවලට සුදුස්සන් පත් කර මේ රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ වඩු කුරුල්ලා කූඩුව හැදුව විදිය, මීමැස්සා අවුරුදු දහස් ගණනක් තිස්සේ මී වද බැන්ද විදියත්, තව අවුරුදු දහස් ගණනටත් ඉස්සරහටත් ඒ විදියමයි. අවුරුදු හැත්තෑඑකක් මේ රට පාලනය කළ පාලකයෝ තව අවුරුදු පනහක් පාලනය කළත්, බිඳවැටීම මිසක් ඉදිරියට යාමක් සිදු වන්නේ නැහැ. වඩු කුරුල්ලා, මීමැස්සා වාගේ පවතින දේවත් පවත්වාගෙන යන්න මේ පාලකයෝ සමත් වුණේ නැහැ. ඒ නිසා ඉදිරියට ගමන් කරමින් තිබෙන ලෝකය ජය ගන්න නම්, අත් පටලාගෙන ඉඳලා බැහැ. අභියෝග හමුවේ පලා ගිහින් බැහැ. අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ, අභියෝග හමුවේ ජයග‍්‍රහණය සඳහා ඉදිරියට එන්න කියලයි. ඒ අභියෝගය ජය ගන්න පුළුවන් ප‍්‍රබල ම සංවිධානය හැටියට ජාතික ජන බලවේගය ගොඩනඟා තිබෙනවා. පාරම්පරික පක්‍ෂ අත්හැර අපි හැමෝ ම පුරවැසියන් ලෙස කල්පනා කරමින්, ගතානුගතික දේශපාලනය වෙනුවට නව දේශපාලනයකට මුලපුරන්න නොවැම්බර් දහසය වැනිදා රට විවෘත කරමු කියලා ආරාධනා කරනවා‘‘ යන්නයි.