ට්වීටර් දේශපාලන දැන්වීම් තහනම් කිරීමට සැරසේ


ට්වීටර් සමාජ ජාලය ලොව පුරා සියළුම දේශපාලන වෙළඳ දැන්වීම් තහනම් කිරීමට සැරසෙන බව එහි ප්‍රධාන විධායක නිළධාරී ජැක් ඩෝර්සි අද (31) ට්වීටර් පණිවිඩයක් මගින් පවසා තිබේ. 

ඔහු වැඩිදුරටත් පවසන්නේ, එවැනි පණිවිඩ, ‘උපයා ගත යුතු අතර මිලදී නොගත යුතු බවයි’. 

‘අන්තර්ජාලය මගින් කෙරෙන වෙළඳ ප්‍රචාරණය ඇදහිය නොහැකි තරම් බලවත් වන අතර වාණිජ දැන්වීම්කරුවන්ට ඉතා ඵලදායී වෙනවා. එම බලය දේශපාලනයට සැලකිය යුතු අවදානමක් ගෙන එනවා.’’ යනුවෙන් ට්වීටර් ප්‍රධාන විධායක නිළධාරීවරයා අවධාරණය කර සිටියි. 


ෆේස්බුක් මාධ්‍ය දේශපාලන දැන්වීම් වලට තහනමක් පැනවීම මෑතකදී ප්‍රතික්ෂේප කළේය. මේ පුවත නිසාවෙන්ම 2020 ඇමරිකානු මැතිවරණය සඳහා දේශපාලන කඳවුරු බෙදා වෙන් කිරීම ද සිදුවිය. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ කළමනාකරු වන බ්‍රැඩ් පාර්ස්කේල් පවසන්නේ, ‘මේ තහනම ට්‍රම්ප් හා කොන්සර්වේටිව් පිරිස නිහඬ කරවීමට වාමාංශිකයින් ගන්නා තවත් උත්සහයක් බවයි’  

නමුත්, ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන්ගේ ප්‍රකාශකයා වන බිල් රුසෝ පවසන්නේ, ‘ඩොලර් ගණනින් යොදවන දැන්වීම් හා ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව රැක ගැනීමෙහිලා දරන කැපවීම අතර තේරීමකට මුහුණ දෙන විට ආදායම මතම පමණක් හැමදේම ජයග්‍රහණය නොකරන බව පෙන්වමින් එමගින් ධෛර්යයක් අත්පත්කර දෙනවා’ යන්නයි. 

එළඹෙන නොවැම්බර් 22 වැනිදා සිට ට්වීටර් හි දේශපාලන වෙළද දැන්වීම් තහනම් කිරීම බලාත්මක වෙනු ඇති අතර ඒ සම්බන්ධ සම්පූර්ණ තොරතුරු එළඹෙන 15 වැනිදා ප්‍රකාශයට පත්කරනු ඇත.