ගෝඨාභය නිදොස් කොට නිදහස් කරන්න හදන 'රණවිරුවන්' ගැන මහේෂ් කියයි



ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති වුවහොත් නිදොස්කොට නිදහස් කිරීමට යන්නේ, 2009 යුධ ජයග්‍රහණයෙන් පසු  එනම්, 2010 සහ 2015 අතර කාලය තුලදී මේ රටේ මාධ්‍යවේදීන්ට පහරදීම්, මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම්, ශිෂ්‍යයින් අතුරුදහන් කිරීම් වැනි චෝදනා මත අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පත්කර සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු බව හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

එවැනි චෝදනා ලබා සිටින හමුදා සාමාජිකයින් මෙහෙයවා ඇත්තේ යම් පුද්ගලයකු හා කණ්ඩායමක් විසින් බවද ජනරාල්වරයා පවසයි.

'ජාතික ජනතා ව්‍යාපාරයේ' ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මේ බව සඳහන් කර සිටියේ, UTV රුපවාහිනියේ සම්මුඛ සාකච්ජාවකට සහභාගී වෙමිනි.

යුද්දෙ කළ නිසා පමණින්ම සෙබළු සිරගත කරලා තිබුණද? කියා UTV මාධ්‍යවේදියා කළ විමසීමේදී ජෙනරාල්වරයා පවසන්නේ, ''මම ඒකට එකඟ වෙන්නේ නැහැ.'' කියාය.

ඔහු තවදුරටත් අවධාරණය කළේ,


'යුද්ධය කළ පමණින් සිරගත වෙලා ඉන්න සෙබළුන් නැහැ. පැහැදිළිවම කෙනෙක් හිටියා නම් ඉස්සෙල්ලා, යුද්ධයේදී නිල ඇඳුමට මුවාවෙන් යම් කිසි දෙයක් කරපු කෙනෙක් තමයි එහෙම ඉන්නට ඇත්තේ.

අද මේ ඉන්න හෝ කතාකරන අය ඉතාම ස්වල්පයයි ඉන්නේ. ඔවුන් 2009 යුද්ධයෙන් පස්සේ 2010 සහ 2015 අතර තුලදී මේ රටේ මාධ්‍යවේදීන්ට පහරදීම්, මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම්, ශිෂ්‍යයින් අතුරුදහන් කිරීම්, වගේ දේවල් නිසා තමයි ඔවුන් සිරගත වෙලා හෝ බේල් ලබාගෙන හිරෙන් එළියට ඇවිල්ලා ඉන්නේ.

ඒ පරීක්ෂණ වෙනම කරන පරීක්ෂණ, ඒවා යුද හමුදාවට ඉඳුරාම අදාල නැහැ ඒ රාජකාරියට. කණගාටුවෙන් හෝ කියන්නට ඕනේ සමහර සෙබළුන් කිහිප දෙනෙක් ඉතාමත් ස්වල්පයක්, ඔවුන්ව මෙහෙයවලා තියෙනවා කෙනෙක් සහ කණ්ඩායමක් වැරදි දේ කරන්න. ''

තමන් බලයට පත් වුවහොත් එදිනම, එනම් නොවැම්බර් 17 වනදාම "අසාධාරණ ලෙස සිරගත කර සිටින රණවිරුවන්" නිදොස් කොට නිදහස් කරන බව ගෝඨාබය රාජපක්ෂ ඔක්තෝම්බර් 09දා අනුරාධපුරයේ දී ප්‍රකාශ කළේය.  

කතික වේදිකාව අසල රඳවා තිබු 'ටෙලිප්‍රොම්ටරයේ' තිරයේ සටහන් බලමින් ඔහු එබව සඳහන් කලේ, ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ මංගල රැළිය අමතමිනි.

මේ හමුදා භටයන් "අභූත" චෝදනා මත සිරගත කර ඇතැයි පොහොට්ටුවේ ජනාධිපති ධුර අපේක්ෂකයාගේ තර්කයයි.







'දී ලීඩර්' ඇසුරිනි