ඩලස්ට දුක හිතිලා - රාජ්‍ය මාධ්‍ය ගණිකා සේවයේ යෙදෙනවයි චෝදනා


රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල දැඩි පක්ෂග්‍රාහී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විශේෂයෙන්ම, ලේක්හවුස් ආයතනය නැවතත්, ලෝකයේ පැරණිම වෘත්තිය සොයාගෙන යාමේ ගමන නැවත ආරම්භ කර ඇති බවත්  අද (16) දින පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම පැවසුවේය. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ 

රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා 

''බොහෝ අපේක්ෂකයෝ ප්‍රශ්න ගැන කතාකරනවා. ගෝඨාභය රාජපක්ෂ උත්තර ගැන කතාකරනවා. උත්තර දෙනවා. ඒ නිසා ඔහුට එරෙහිව විවිධ ආකාරයේ චරිත ඝාතන බොහෝ විකෘති කිරීම් අපි දැක්කා දියත් වෙලා තියෙනවා. 

ඊයේ ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් පවත්වපු මාධ්‍ය සාකච්ඡාව විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය බරපතල විකෘති කිරීමකට ලක්කරලා තියෙනවා. රාජ්‍ය මාධ්‍ය නියෝජනය කරන මිත්‍රයන් මෙතන ඇති. ඔබට පුද්ගලිකව නෙමෙයි කියන්නේ. ඔබට එය පාලනය කිරීමේ හැකියාවක් වත් වගකීමක් වත් නැහැ. මෙතන අපේ මාධ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු සිටින වේදිකාවේ අපිට ඒ ගැන අවබෝධයක් තියෙනවා. 

විශේෂයෙන්ම, රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ලම ඉතාමත්ම දැඩි පක්ෂග්‍රාහී ප්‍රතිපත්තියක් එක පැත්තකින් අනුගමනය කරන අතරේ අනික් පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයාගේ චරිතය ඝාතනය කිරීමේ විශාල මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. 

ලේක්හවුස් ලෝකයේ පැරණිතම වෘත්තියේ නියැලෙනවා 

අපි වගකීමෙන් කියන්නේ ලේක්හවුස් ආයතනය නැවතත්, ලෝකයේ පැරණිම වෘත්තිය සොයාගෙන යාමේ ගමන නැවත ආරම්භ කරලා තියෙනවා. අද ඒ ප්‍රධාන පුවත්පත් වල සිරස්තල පවා සභාපතිවරයාගේ කාමරයේදී විකෘති කළා, වෙනස් කළා. මං ඉතාම වගකීමෙන් කියන්නේ. ඒ ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී මතුකරපු කාරණා වල ඇතැම් කරුණු මගහැරලා විකෘති කරනු ලැබූ සිරස්තල යටතේ ඒ ප්‍රවෘත්ති අද එළිදක්වලා තියෙනවා. ඒ එක පැත්තකින් කරලා තියෙන වැඩේ. අනික් පැත්තෙන් මාධ්‍ය ඇතුළේ, පෙරේදා රාත්‍රී රූපවාහිනියේ ප්‍රවෘත්ති වලට මං ඇහුම්කන් දුන්නා, ඒ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ඇතුළේ ගෝඨාභය රාජපක්ෂට හමුවුණේ,  පළමුව සජිත් ප්‍රේමදාස මැතිතුමා, දෙවනුව අපේ මහේෂ් සේනානායක හිටපු හමුදාපතිතුමා, තුන්වෙනුව සිරිතුංග ජයසූරිය අපේක්ෂකතුමා, හතරවෙනුව ගෝඨාභය රාජපක්ෂ.

රූපවාහිනී පුවත් වල ගෝඨාභයට විනාඩි දෙකක් වත් නෑ

මිනිත්තු වලින් ගත්තොත් විනාඩි 31 ක ප්‍රවෘත්තියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දුන්නු මුළු කොටස ගත්තම විනාඩි දෙකක් නෑ ඔහුටත් ඒ පක්ෂයේ ඔහුගේ ආධාකරුවන් වශයෙන් සියළුම දෙනාට ලැබිච්ච මුළු කාලය. මේක අපි කියන්නේ ඔබලට වඩා ලංකාවේ මැතිවරණ කොමිසමට. 

නිර්ලජ්ජිත ලෙස සත්‍ය විකෘති කරමින් ඒක පාක්ෂිකව, එක අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කරමින් මේ රාජ්‍ය මාධ්‍ය ගෙනයන මේ ප්‍රචාරාත්මක වැඩපිළිවෙල දිහා මැතිවරණ කොමිසම කඩිනමින්, වහාම, ක්ෂණිකව සොයාබැලිය යුතුයි යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ජාතික අපේක්ෂකයා සමග ඉඳගත්තු සියළුම දෙනාගේ අපේක්ෂාව.'' යන්නයි.