''විනාඩි 22 ප්‍රවෘත්ති විකාශයෙන් විනාඩි 16ක්ම ගෝඨා ට'' - මනූෂ



ඇතැම් මාධ්‍ය නාලිකා විනාඩි 22 ක ප්‍රවෘත්ති විකාශයෙන් විනාඩි 15 - 16 ක කාලයක් පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට යොදාගන්නා බවත් මහජනයාට අයිති සංඛ්‍යාත අවභාවිතයේ යෙදෙන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර චෝදනා කර සිටියි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) දින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ 

''මේ වෙලාවේ මාධ්‍ය හැසිරෙන විදිය ගැන අපිට ප්‍රශ්න තියෙනවා. පහුගිය දවස් වල මාධ්‍ය භාවිතා කරපු විනාඩි ගණන අපි හොයලා බැලුවා. විනාඩි 22 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බොහෝ නාලිකා වල විනාඩි 15ක් 16ක්ම පොහොට්ටුවේ අපේක්ෂකයා පුම්බන්න වැඩකටයුතු කරන්නේ. ඒ පිළිබඳව අපි පැමිණිල්ලකුත් ඉදිරිපත් කළා. 

මේක මිනිස්සු හැමෝටම අයිති සංඛ්‍යාත. හැබැයි ඒ සංඛ්‍යාත පාවිච්චි කරලා සමහර නාලිකා ඉතාමත්ම බරපතල විදියට මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණයේ යෙදෙනවා වගේම අනික් කණ්ඩායම් වලට මඩ ගැසීමේ ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා.'' යන්නයි.