‘‘අපි ජනාධිපතිවරණය ජයගන්නවා ‘‘ - අගමැති



ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණව පවත්වන බවත්, ඊට අදාළ රාමුව රට තුළ ස්ථාපිත කර තිබෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (19)  දින අරලියගහ මන්දිරයේ පැවැති දේශපාලන පිළිගැනීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේය. මෙහිදී දේශපාලන පළිගැනීම් හේතුවෙන් පීඩාවට පත්වූ 500 දෙනෙකු සඳහා රුපියල් මිලියන 70 ක වන්දි මුදල් ප්‍රදානය කෙරිණි. 

නිදහස් හා ස්වාධීන මැතිවරණ ජය ගැනීම පිළිබඳව කිසිදු බියක් හෝ සැකයක් නොමැති බව පැවසූ ඔහු පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කිරීමට තමන් තවදුරටත් කැප වෙන බවත් අවශ්‍ය නම් ඒ සඳහා පවතින ව්‍යවස්ථාවෙන් ඉදිරියට ගොස් මීටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බවද අවධාරණය කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

500 දෙනෙකුට වන්දි ප්‍රදානය කරනවා 

“දේශපාලන මතයක් දැරීම නිසා පිඩාවට පත්වූ පිරිසක් අද මෙහි රැස්වී සිටිනවා. මෙහි සිටින සියලූ දෙනාගේම මතය ප්‍රජාතන්ත්‍රවාදයයි. බොහෝ දෙනා පක්ෂය ආරක්ෂා කිරීමට වඩා ප්‍රජාතන්ත්‍රවාදය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කළ බව සඳහන් කරන්න කැමතියි. ඒ වෙනුවෙන් පෙනී සිටින විට වෙඩි ප්‍රහාරවලට ලක්වීමට, නිවාස ගිනි තැබීම්වලට, ජිවිත හානිවීම්වලට, ආබාධිත තත්වයන්ට, රැකියා හා උසස්වීම් අහිමිවීම්වලට මුහුණ දීමට සිදුවුණා.

විපක්ෂයේ සිටින විටත්, ආණ්ඩු බලය ලැබුණු විටත් මේ සියලූ දෙනා පිළිබඳවම සොයා බලා කටයුතු කළ බව කිව යුතුයි. අද දිනයේ ක්‍රියාත්මක වන දෙවැනි අදියර යටතේ 500 දෙනෙකු අතර රුපියල් මිලියන හැත්තෑවක මුදලක් වන්දි වශයෙන් පිරිනමනවා. ඔබට විඳින්නට සිදු වූ පීඩාවන් මෙම වන්දි මුදලට වඩා වැඩි බව අප දන්නවා.    

මේ වගේම වන්දි ලැබිය යුතු තවත් පිරිසක් සිටින බව කිව යුතුයි. සියලූ දෙනාටම වන්දි ලැබෙන ආකාරයට නැවත ලැබෙන ඉල්ලීම් හා අභියාචනා අනුව සලකා බලා වන්දි ලබාදීමට ඉදිරීයේ දී අප කටයුතු කරනවා. වන්දි ගෙවීමේ ක්‍රමවේදය නතර නොකර ඉදිරියටත් කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා. 

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනෑම පියවරක් ගන්නවා 

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් අප බලයට පත්වුණු නිසා එය ආරක්ෂා කිරීමට ගත යුතු ඕනෑම පියවරක් ගැනීමට අප සුදානම් බව සඳහන් කරන්න කැමතියි. ඔබේ දේශපාලන මතය හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඔබ කළ කැපවීම අප අගය කරනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති කිරීමට අප කටයුතු කළා. නමුත් අප බලයට පත්වන තෙක් එවැනි නිදහස් සමාජයක් ඇති කිරීමට හැකි වේ යැයි කිසිවෙකුත් සිතුවේ නැහැ. එදා අප රට භාර ගත් නිසා අද නිදහස් සමාජයක් ඇති වී තිබෙනවා. ඕනෑම මතයක්, අදහසක් පළ කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අද ඔබට දැකගන්න පුළුවන්.

මීට පෙර කිසිවෙකුට කළ නොහැකිව තිබූ ආණ්ඩුවේ ඕනෑම ස්ථානයකින් තොරතුරු ලබාගැනීමේ අයිතිය නීතියක් වශයෙන් ලබා දී තිබෙනවා. රැස්වීමේ නිදහස හා දේශපාලන ක්‍රියාවන්ට සම්බන්ධ වීමේ අයිතිය ජනතාවට ලබා දී තිබෙනවා. 


අද කවුරුත් සුදු වෑන් වලට බය නැහැ 

සුදු වෑන් යුගය අවසන් කිරීමට හැකි වූ නිසා අද කිසිවෙකුත් සුදු වෑන්වලට බිය වන්නේ නැහැ. පාර්ලිමේන්තු සැසි වාර රූපවාහිනිය ඔස්සේ සජීවීව දැක ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වී තිබෙන අතර ඒ තුළින් තම නියෝජිතයන් ජනතාව වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව දැන ගැනීමට ද අවස්ථාව ලැබී තිබෙනවා. අප එවැනි විවෘත සමාජයක් ඇති කර තිබෙන බව කිව යුතුයි. 

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට විපක්ෂයෙන්, සිවිල් සමාජයෙන් හෝ වෙනත් පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලැබෙනවා නම් ඒ සියල්ලට ඇහුම්කන් දී එකඟත්වයකට පැමිණ ඒවා ක්‍රියාත්මක කිරීමට අප සූදානම්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කිරීම අපේ අරමුණයි. ව්‍යවස්ථාවෙන් ඉදිරියට ගොස් දැනටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති කිරීමට අප කටයුතු කරනවා.

රටේ නිදහස් මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට අප කටයුතු කළා. ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉතාම නිදහස් හා සාමකාමී මැතිවරණය බවට පත් වෙනවා. කිසිදු බියකින් තොරව දේශපාලන වැඩකටයුතු කළ හැකි වාතාවරණයක් රටේ ඇති වී තිබෙනවා. අපට එල්ල කරන දෝෂාරෝපණ අපේ බලය යොදාගෙන නතර කිරීමට අපි කටයුතු කළේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට බිය වී මෙවැනි ක්‍රියා මැඩපැවැත්වීමට ඉදිරියේදීවත් අපි කටයුතු කරන්නේ නැහැ. 

මැතිවරණ කටයුතු සියල්ල ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හරහා සිදු කෙරෙනවා. ඉදිරියට යෑම පිළිබඳව අපිට කිසිදු බියක් නැහැ. පැවැත්වීමට නියමිත නිදහස් ජනාධිපතිවරණය, කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමට ඉඩක් නොලැබෙන තරමේ නිදහසකින් පැවැත්වෙන බව කිව යුතුයි. අවි ආයුධ රැගෙන පහරදීම් සිදු නොවන සාමකාමී මැතිවරණයක් බවට මෙම මැතිවරණය පත්වනවා.

ජනපතිවරණය ජයගන්න අපිට පුළුවන් 

ජනාධිපතිවරණයට මුහුණ දී එය ජයග්‍රහණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. ඒ වගේම ඉදිරි මහ මැතිවරණය ද ජයගත හැකි ශක්තිය අප සතු බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අපට තිබෙන විශ්වාසය හා ජනතාව අප කෙරෙහි තිබෙන විශ්වාසය නිසා අප මේ නිදහස ලබාදී තිබෙනවා. සියල්ල අවසානයේ ජනතාව මේ නිදහස ලැබුණු හා ලබාදුන් ආකාරය පිළිබඳව සිතා බලනවා. 

සෑම අංශයකම අපි විවෘතව වැඩකටයුතු සිදුකර තිබෙනවා. අද දිනයේ පැවැත්වූ කැබිනට් මණ්ඩලයේ දී ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කළ යුතු දේ හා නොකළයුතු දේ පිළිබඳව සාකච්ඡා කළා. ඉදිරියට කටයුතු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡාවට ගැනුණා. අපි විවෘතව කටයුතු කරන නිසා සියල්ල විවෘතව සාකච්ඡා කළ යුතුයි. විවෘත සමාජයක් තුළින් අපට අවශ්‍ය ශක්තිය ලැබෙන බව සඳහන් කළ යුතුයි.   

ඔබ සිදු කළ සේවය අගය කරමින් ඔබ මුහුණ දුන් පීඩාවන්ට හා වන්දි ලබාදීමට වූ ප්‍රමාදයන් පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරනවා‘‘ යන්නයි.