''විධායක ජනාධිපති ක්‍රමය මේ පාර්ලිමේන්තුවෙන් අහෝසි කළ හැකියි'' - ආශු මාරසිංහ




විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නේ නම් මාස තුනද ඊට ප්‍රමාණවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ අද (11) අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, 

''විධායක ජනපතිවරයා ලෙස ගත්තු යම් යම් තීරණ නිසා මේ රටේ විවිධ ප්‍රශ්න පැනනැගුණා. ඔක්තෝබර් 26 සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලිය හරහා මුළු රටම දැනගත්තා මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන අනිසි ප්‍රතිවිපාක. ඒ නිසා තමයි අපි 2015 ජනාධිපතිවරණ අවස්ථාවේදී මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රාර්ථනා කළේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් බිහිවෙයි කියලා.

මම පෞද්ගලික 1993 ඉඳන් අපි ඉන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතුයි කියලා. දිගටම ඉන්නවා හැමදාම. ජනාධිපතිවරණ සමයේ මේ ගැන කතාකරනවා කියලා හිතන්න පුළුවන්. ජනාධිපතිවරණ සමයේ තමයි මේ මාතෘකාව එන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අවසන් බලාපොරොත්තුව කියලා හිතනවා ඒක කරයි කියන. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරු හෝ වේවා, මට ඉල්ලන්න තියෙන්නේ එජාප අපේක්ෂකයාගෙන් හෝ වේවා හැකියාවක් ලැබුණු විගසම පුළුවන්නම් මාස 6ක් ඇතුළත, මාස 3ක ඇතුළත වුණත් ඉවත් කරන්න පුළුවන්. මේක ඉවත් කරලා ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් නිර්මාණය කළයුතුයි. ඒක මම ඉල්ලා සිටිනවා. 

මේ පාර්ලිමේන්තුවෙනුත් විධායක ජනපතිධූරය අහෝසි කරන්න පුළුවන් 

හැබැයි, එකක් කියන්න ඕන මේ මොහොත වනවිටත් ඒකට ඉඩක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව තුළිනුත් ඒක කරගන්න පුළුවන්. ඒකට හොඳම අවස්ථාවක් ලැබිලා තියෙනවා. ජවිපෙ ඉල්ලලා තියෙනවා 20 වෙනි සංශෝධනය. මේ මොහොතෙත් කැබිනට් මණ්ඩලය ඒ තීරණයට එනවා නම් කැබිනට් පත්‍රිකාවක් හරහා විධායක ජනපති ක්‍රමයේ බලතල අහෝසි කරන්න එකඟ වෙනවා නම් මා විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ ඉන්න අවංක දේශපාලඥයෝ ටික එකතු වෙනවා නම් 2/3 හදාගන්න එක අමාරු කාරියක් නෙමෙයි. 

ඒක රටට අවශ්‍යයි කියලා විශ්වාස කරනවා එහෙම වුණොත් විතරයි විවිධ ජනාධිපතිවරණ සිහින ලබාගන්න මේ ජනාධිපතිවරණය හෑල්ලුවට ලක්කරන ප්‍රධාන පක්ෂ වල  අපේක්ෂකයෝ, සමහර වෙලාවට ‘මමත් ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙනවා’ කියලා ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ දැක්කම මට හිතෙන්නේ මේ විධායක ජනාධිපතිට තියෙන අනිසි බලතල ගැන හිතලා ඉදිරිපත් වෙනවද කියලා. එහෙම වුණොත් අනාගත ජනාධිපතිවරණ සිහින දකින ඒ පුද්ගලයින්ට කල්පනා වෙනවා තමන් වැඩකළයුතුයි කියලා.

විධායක ජනපතිධූරය හා ජනවාර්ගික ගැටළුව ගැන දේශපාලන විසඳුමක් දෙන්න බැරිවුණා 

මං විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට අවශ්‍ය අමාත්‍යවරු 30 දෙනෙක් ඉන්න කැබිනට් මණ්ඩලයක් හා ඒ 30 දෙනා අතරින් පත්වෙන අගමැතිවරයෙක් සහිත ආණ්ඩුවක් මේ රටට ආපු දාට ජනතාවට වගකියන ක්‍රමවේදයක් හැදෙයි. එහෙම වුණොත් පහුවදා පාන්දර වෙනකොට රූපවාහිනී සංස්ථාව පවරගන්නවා වගේ තීරණය වලට යන්න බැරිවෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන තීරණ විතරයි ගන්න පුළුවන් වෙන්නේ. රටේ ජනතාවට වගකියන තීරණ විතරයි ගන්න වෙන්නේ. ඒක අපි බලාපොරොත්තු වෙනවා මේ ජනාධිපතිවරණ සමයේදී. ඒ නිසා මේ කියන කාරණා නැවත මතක් කරොත් 2015 අපි ජනපතිවරණයේදී දුන් පොරොන්දු රාශියක් අපිට ඉටුකරගන්න ලැබුණා. 

ඉටුකරගන්න බැරිවුණේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම හා ජනවාර්ගික ගැටළුව ගැන දේශපාලන විසඳුමක් ලබාදීමට දුන් පොරොන්දුව. ඉදිරියට ඉදිරිපත් වන ජනපති අපේක්ෂකයාගෙන්, විශේෂයෙන්ම එජාප අපේක්ෂකයාගෙන් ඉල්ලන ප්‍රධාන කාරණේ තමයි හැකිතාක් ඉක්මනින් අවංක පොරොන්දුවක් දිය යුතු වෙනවා මේ විධායකය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලතල තියෙන ආණ්ඩුවක් හදාගන්න..''