දුම්රියේ පත්වීම් වලට දේශපාලඥයින්ගේ බලපෑම්


මේ දිනවල සිදුකෙරෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයට නිළධාරීන් බඳවාගැනීම සිදුවන්නේ ඇමතිවරයාගේ නම ලේඛණයට අනුව බවත් මීට සති කීපයකට පෙර කුරුණෑගල හා ගම්පහ දී ස්ථාන කිහිපයක සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ බවට තොරතුරු ලැබී ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ ගේ අත්සනින් ඊයේ (6) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ, 

''දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ දුම්රිය කාර්ය සහායක/නවාතැන්, බංගලා, සහායක/කාන්තා විශ‍්‍රාමශාලා සේවිකා II වන ශ්‍රේණියට බඳවාගැනීම සඳහා මේ වන විට සම්මුඛ පරීක්‍ෂණ පවත්වමින් ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙම තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා 2019.-07.19 දිනට පෙර අයදුම් පත් එවන ලෙස ප‍්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් 2019.07.06 දින දිනමිණ පුවත්පතේ හා WWW.Railway.lk වෙබ් අඩවියේ දැන්වීම් පළකරමින් අයදුම්පත් කැඳවා තිබුණි. ඒ අනුව අ.පො.ස. (සා/පෙ) සම්මාන සමාර්ථ දෙකක් සහිත විෂයන් 06 කින් සමත් අයදුම් කරුවන් 20000 කට අධික ප‍්‍රමානයක් අයදුම්පත් එවා තිබුණි. දුම්රිය දෙපාර්තමේන්තුවේ පත්වීම් අංශයේ අනිකුත් සියළු වැඩ කටයුතු අත්හිටුවා සියළු කාර්ය මණ්ඩල මේ සඳහා යොදවා සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩල 06 ක් පත්කොට සියළු අයදුම් කරුවන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරමින් ඇත. 

මීට අමතරව හිටපු ප‍්‍රවාහන අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම මහතා හා රංජිත් මද්දුම් බණ්ඩාර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇති, දැනටමත් වසර 05 කට අධික කාලයක් දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවකයින් 1500 කට ආසන්න පිරිසක් සිටියදී, ඔහුන් සියළු දෙනා සේවයේ ස්ථීර නොකොට නවක සේවකයින් ලෙස තවත් 1500 ක් සේවයේ ස්ථීර කර බඳවා ගැනීමට ප‍්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කිරීම, වසර 05 ක් ස්ථීර නොවු සේවකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුවේ මන්ත‍්‍රී වරුන්ගෙන් හා ඇමති වරුන්ගෙන් ලබාගත් නාම ලේඛන අනුව බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව දැනගැනීමට ඇති අතර, අයදුම්පත් ඉදිරිපත්කර ඇති අයදුම්කරුවන් 20000 ක් සම්බන්ධයෙන් දැනටමත් සිදුකරමින් යන සම්මුඛ පරීක්‍ෂණ පට්ට බොරුවක් බවද ප‍්‍රකාශ කරමු. දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාල සේවා ගණයට අයත් අනුමත තනතුරු පුරප්පාඩු ඇත්තේ 1073 ක් වන අතර, පුරප්පාඩු අනුමත කරගැනීමකින් තොරව ඉන් ඔබ්බට කිසිදු සේවකයෙක් බඳවාගැනීම සඳහා කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව හෝ භාණ්ඩාගාරය මේ වන විටත් කිසිදු අනුමැතියක් ලබාදී නැත.

එක් අයදුම්කරුවෙකු සඳහා සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ එක් නිලධාරියෙක් වෙනුවෙන් රුපියල් 30 ක මුදලක් ගෙවන අතර, එක් පරීක්‍ෂණ මණ්ඩලයක් විසින් අයදුම්කරුවන් 100 කගේ සුදුසුකම් පරීක්‍ෂා කළ යුතුය. එවැනි පරීක්‍ෂණ මණ්ඩල 06 ක් පත්කර ඇති අතර, 2019.08.05 දින සිට 2019.08.23 දක්වා දින 11 ක් තිස්සේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩල 66 ක් කැඳවීමට කටයුතු යොදා ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවට උද්ගත වන වැය බර රුපියල් ලක්‍ෂ 50 කට අධිකය. එමෙන්ම සම්මුක පරීක්‍ෂණයට සහභාගි වීම සඳහා අයදුම්කරුවන්ට ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීම සඳහා තවත් මුදලක් වැය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇත.

මෙපමණ මුදල් සම්භාරයක් වැයකර සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වුවද, සේවකයින් බඳවාගනු ලබන්නේ ඇමති වරයාගේ නම ලේඛණයට අනුව බව ස්ථීරය. මෙම බඳවාගැනීම සඳහා මේ දිනවල දුම්රිය මූලස්ථානයේදී සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වුවද ඊට සති කීපයකට පෙර කුරුණෑගලදීත්, ගම්පහදීත් ස්ථාන කිහිපයක සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ බවට තොරතුරු ලැබී ඇත. 

සේවයේ ස්ථීර නොමැති කාන්තාවන් විශාල ප‍්‍රමායක් අධි සේවක පදනම මත දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ යොදවා ඇති බව අමාත්‍යවරයා ප‍්‍රකාශයක් කළද මෙම සම්මුඛ පරීක්‍ෂණ වලට කාන්තා අයදුම් කරුවන් බහුල වශයෙන් පැමිණෙන බවද ප‍්‍රකාශ කරමු. මේ අනුව ප‍්‍රවාහන අමාත්‍යාංශයේ හා දුම්රිය දෙපාර්තමේන්තුව ඉතාමත් කෛරාටික ලෙස රටේ මහ ජනතාව රවටා ඇත. මහජනතාවද රැවටී ඇත.'' යන්නයි.