''දියුණු රටවල දේශපාලන පළිගැනීම් නැහැ'' - අගමැති


ආර්ථික සංවර්ධනය තුළින් පමණක් රටක දියුණුව ඇති නොවන බවත්, ඒ සඳහා ආර්ථික සංවර්ධනයත් සමග ශිෂ්ඨසම්පන්න සමාජයක් ගොඩනැංවීමට කටයුතු කළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ  (06) දින අරලියගහ මන්දිරයේ දී පැවති දේශපාලන පළිගැනීම් හේතුවෙන් සහ මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් පීඩාවට පත්වූවන් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේය.

මෙරට දේශපාලන පළිගැනීම් හා ජාතිවාදය නැති කිරීමෙන් රට දියුණු කරමින් ඉදිරියට යා හැකි බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා එම ශිෂ්ඨසම්පන්න ආකල්ප ජනතාව තුළ ඇති කිරීමෙන් තොරව දියුණුව අත්පත් කර ගත නොහැකි බවත් ඔහු මෙහිදී අවධාඑණය කළේය. 

දේශපාලන පලිගැනීම් හා ජාතිවාදී කෝලාහල සිදු වූ ලොව කිසිදු රටක් දියුණු තත්ත්වයට පත්වී නොමැති බැවින් බුදු දහමට මූලිකත්වය ලබාදෙන රටක් වශයෙන් පළිගැනීම හා ජාතිවාදය පසෙකලා රට දියුණු කිරීමට සැවොම එක්විය යුතු බව ද අගමැතිවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ

දියුණු රටවල දේශපාලන පළිගැනීම් කෙසේවත් අනුමත කරන්නේ නැහැ 

“දියුණු රටවල දේශපාලන පළිගැනීම් සිදු වන්නේ නැහැ. වරදක් සිදු කර ඇති නම් රටේ නීතියට අනුව පියවර ගත යුතුයි. එසේ නොමැතිව ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීම නිසා ඒ අයගෙන් දේශපාලන පළිගැනීම අප කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. 

අප දියුණු රටක් බවට පත් වන විට ජාතිවාදී කෝලාහල ඇති නොවිය යුතුයි. ඒ වගේම ඕනෑම කෙනෙකුට තමන් කැමති භාෂාවක් කතා කිරීමට හා තමන් කැමති ආගමක් ඇදහීමට අයිතිය පිළිගනිමින් සියලූ දෙනාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගෙන ඉදිරියට යාමට අප කටයුතු කරනවා.'' යන්නයි.

2014 වන විට මෙරට පැවැති කුරිරු පාලනය හමුවේ එක්සත් ජාතික පක්‍ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කළත්, ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දී 2015 ආණ්ඩුව පිහිටුවීමට හැකි වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් නිර්භීත තීන්දු තීරණ නිසා බව මෙහිදී අදහස් දැක්වූ  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම්  කියා සිටියේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට වන්දි ලබාදීමට අවස්ථා ගණනාවක දී උත්සාහ කළත් එල්ල වූ විවිධ බාධක හමුවේ එම ක්‍රියාවලිය මේ දක්වා ප්‍රමාද වූ බවයි.

1994 වසරේ සිට මේ දක්වා රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධිමත්ව ක්‍රියා කළ නිසා එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කර ගැනීමට හැකි වූ බවත්, අද ඇතැම් අය ඒ සත්‍ය වසන් කරමින් කතා කිරීම ගැන තමා කණගාටු වන බවත් මෙහිදී අදහස් දැක්වූ  අමාත්‍ය වජිර අබේවර්ධන පැවසීය. 

2015 වසරේ දී ආණ්ඩු බලය ලබා ගන්නා බව ඊට වසරකට පමණ ඉහත දී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන විට ඇතැම් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් එය විහිලූවක් බවට පත් කර ගත්ත ද, අද ඒ සියලූ දෙනා තනතුරු දරන්නේ රනිල් වික්‍රමසිංහ ගත් පියවර නිසා බවත් අබේවර්ධන පැවසීය.

1994 වසරේ සිට දේශපාලන පළිගැනීම්වලට ලක්වූ සියලූ දෙනාටම ඉදිරි කෙටි කාලය තුළ වන්දි ලබාදීමට පියවර ගන්නා බව පැවසූ රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ වසර 4 1/2 ක් ගත වන තෙක් මේ අයට වන්දි ලබාදීමට නොහැකි වූයේ තනි ආණ්ඩු බලයක් එක්සත් ජාතික පක්‍ෂයට නොතිබූ නිසා බවයි.

මහින්ද රාජපක්‍ෂ භීෂණයෙන් රට මුදා ගෙන ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට හැකි වුවත් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයන්ට වන්දි ලබාදීමට නොහැකි වූයේ කැබිනට් මණ්ඩලයට එල්ල වූ අනිසි මැදිහත් වීම් නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර  මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, අශෝක අබේසිංහ, ලකී ජයවර්ධන ප්‍රමුඛ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.