''සන්ධානය ඇතිකරගෙන මැතිවරණය ජයගමු '' - අගමැති


එක්සත් ජාතික පක්ෂයේ සියලූ දෙනා එකමුතුව හා එක්සත්ව නව සන්ධානය පිහිටුවා ගනිමින් ඉදිරි මැතිවරණය පහසුවෙන් ජයගත හැකි බවත් 2015 සිට විවිධ අභියෝග හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් බහුතර බලයක් නොමැතිව තම ආණ්ඩුවට විශාල සංවර්ධන වැඩ කොටසක් සිදු කිරීමට හැකි වූ බවත් කෙටි කාලයක් තුළ මෙතරම් වැඩ කොටසක් සිදුකළ ආණ්ඩුවක් තවත් නැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (19) දින අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව මාතර, හම්බන්තොට, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිත හමුවේදී පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 


සංවර්ධනයේ නියමුවන් වන්නේ ප්‍රාදේ්ශීය දේශපාලන නායකයින් 

''පසුගිය කාලය තුළ මේ ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් දියත් කළා. ඒ සංවර්ධනයේ නියමුවන් ලෙස ප්‍රාදේශීය දේශපාලනයේ නියැලී සිටින ඔබ විශාල සහයෝගයක් දැක්වූවා. සංවර්ධන වැඩකටයුතුවල සාර්ථකත්වය ජනතාවට අවබෝධ කර දෙමින් බිම් මට්ටමේ බලය රැක ගැනීම සඳහා ඔබ සියලූ දෙනා පියවර ගත යුතුව තිබෙනවා. 

මේ ආණ්ඩුව තරම් මහජනතාව වෙනුවෙන් වැඩ කළ තවත් ආණ්ඩුවක් නැහැ. එමෙන්ම මේ ආණ්ඩුව තරම් කළ සංවර්ධන වැඩ ගැන කතා නොකළ ආණ්ඩුවක් නැහැ. 



ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගෙන මේ වැඩකටයුතු දස ගුණයකින් වැඩිකරනවා

2015 සිට මේ දක්වා ජනාධිපති බලය අපට තිබුණේ නැහැ. එමෙන්ම ස්ථාවර ආණ්ඩුවක් තිබුණේ නැහැ. එවන් පසුබිමක විවිධ අභියෝග හා අපහසුතා මධ්‍යයේ ආණ්ඩුව මෙතෙක් දුර ගෙනවිත් විශාල සංවර්ධන වැඩ කොටසක් සිදුකිරීමට අපට හැකිවුණා.  බලතල සහිත ස්ථාවර ආණ්ඩුවක් ලබාගෙන මේ වැඩකටයුතු තවත් දස ගුණයකින් වැඩිකිරීම අපේ අරමුණයි. 

අප බලයට පත්වන විට විනාශ වී තිබූ රට යථා තත්වයට පත්කොට ණය මුදලක් ලබාගැනීමට හැකිවන තැනට ගෙන ඒමට වසර 02ක් ගතවුණා. කොපමණ ප්‍රශ්න තිබුණත් ජනතාව වෙනුවෙන් අප විශාල වැඩකොටසක් සිදුකළා. රාජ්‍ය සේවක වැටුප් වැඩිකළා. සමෘද්ධි සහනාධාරය වැඩි කළා. සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන්කර එම අංශ දියුණු කළා. මහා මාර්ග, නිවාස, යටිතල පහසුකම්, රැකියා ලබාදීම් ඇතුළු විශාල වැඩකොටසක් සිදුකිරීමට අපට හැකිවුණා.


එළඹෙන මැතිවරණය අපට ජයග්‍රහණය කළ හැකියි 


එළඹෙන මැතිවරණය අපට ජයග්‍රහණය කළ හැකියි. මහජන නියෝජිතයින් වශයෙන් ඔබ දැන් සිටම ජනතාව අතරට ගොස් අප සිදුකළ සහ ඉදිරියේ සිදුකරණ වැඩකටයුතු පිළිබදව දැනුවත් කර මූලික පියවර ආරම්භ කරන්න. අප සියලූ දෙනා එකමුතුවී සන්ධානය ඇති කර එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කර අපේ බලය  තහවුරු කරමු. 

මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  කියා සිටියේ දේශපාලන පක්ෂ හා ප්‍රගතිශිලි සංවිධාන රැසක් එක්කර ගනිමින් ඉතා කෙටි කලක් තුළ නව සන්ධානය පිහිටුවන බවයි. එම සන්ධානය සමඟ සන්ධානගතවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයින් ඇතුළු ක්‍රියාකාරීන් විශාල පිරිසක් බලාසිටින බව ද ඒ මහතා පැවසීය.

ගතවූ  වසර හතර තුල රටේ සෑම ප්‍රදේශයකම පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සිදුකිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවූ බවත් ඒ සංවර්ධනය තවත් වේගවත්ව ඉදිරියට ගෙන යාම සඳහා සියළු දෙනා එකමුතුව ක්‍රියාකොට ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමේ ක්‍රමවේදයක් එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන බව පැවසූ එජාප ජාතික සංවිධායක හා අමාත්‍ය නවින් දිසානායක ඉදිරියේදී සියලූ දෙනා එක්ව සාකච්ඡා මාර්ගයෙන් එම අපේක්ෂකයා පත්කර ගන්නා බවට පැවසීය. 

අතීතයේ ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගොස් නව දේශපාලන ව්‍යාපාර ආරම්භ කළත් ඒ එකක්වත් සාර්ථක නොවූ බව සිහිපත් කරන ඔහු ඒ සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා වී ඉදිරියට පැමිණ ඇති බව පෙන්වා දුන්නේය. 

අතීතයේ සිට එක්සත් ජාතික පක්ෂය තුල අර්බූද ඇතිකිරීමට ඇතැම් බලවේග උත්සාහ ගත් බවත් එවැනි උත්සාහයන් පරාජය කොට සියලූ දෙනා එකමුතුව ඉදිරියට යාම තුලින් එජාපයට ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි හා වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇතුළු දේශපාලඥයින් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.