ත්‍රස්ත මර්දනයට අගමැතිවරයා දැක්වූ කැපවීම ඉන්ටර්පෝල් අගයයි


ගෝලීය ත්‍රස්තවාදය මැඩ පවත්වමින්, ගෝලීය ආරක්‍ෂාව තහවුරු කරලීම සඳහා ජාත්‍යන්තරය එකට එක්වී පොදු වැඩ පිළිවෙලක් දියත් කරලීමේ අවශ්‍යතාවය මනාව වටහා ගෙන ඇති අගමැති රනිල් වික්‍රමසිංහ, තමන් වෙත නිබඳ ලබා දුන් සහයෝගය හේතුවෙන් ජාත්‍යන්තර ආරක්‍ෂක වැඩ පිළිවෙල වඩාත් යහපත් කරලීමට හැකි වූ බව ඉන්ටර්පෝල් ආයතනයේ මහ ලේකම් යාගෙන් ස්ටොක් පැවසීය.

ඉන්ටර්පෝල් දූත පිරිස ඊයේ (27) දින අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා හමුවූ අවස්ථාවේ දී ස්ටොක් යාගෙන් තවදුරටත් පැවසූයේ ඉන්ටර්පෝල් ආයතනය පොලිස් සංවිධානයක් වුවත්, යම් යම් අවස්ථාවන්හි දී එහි කාර්යභාරය කාර්යක්‍ෂම කරලීම සඳහා දේශපාලන සහයෝගය ද අවශ්‍ය වන බව ය.

ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ පිපිරී ගිය අවස්ථාවේ දී අගමැතිවරයා ලබා දුන් දේශපාලන සහයෝගය හා මග පෙන්වීමත්, ශ්‍රී ලංකා පොලීසිය හා ආරක්‍ෂක අංශ දැක්වූ කැපවීමත් නිසා ඉතා කෙටි කාලයක් තුළ සියළු සැකකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වූ බව ද ස්ටොක් යාගෙන් පෙන්වා දුන්නේය.


මෙහිදී අගමැතිවරයා පැවසූවේ ගෝලීය වශයෙන් අනාගතයේ එල්ල විය හැකි ආරක්‍ෂක අභියෝග ජය ගැනීමට නම්, මුළු මහත් ජාත්‍යන්තරයම එකට එක්වී කටයුතු කළ යුතු බවය. ආරක්‍ෂක හා බුද්ධි තොරතුරු හුවමාරුව මෙහිදී අතිශය වැදගත් වන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

තොරතුරු හුවමාරුව සඳහා නවීන තාක්‍ෂණය යොදා ගැනීමේ අවකාශය හා අවශ්‍යතාවය පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී කරුණු හුවමාරු කර ගැනිණි. ජලය, බලශක්තිය ආදී ප්‍රභවයන් වෙත මෙන්ම, මුල්‍ය හා ආර්ථික අංශයන්ට ද එල්ල විය හැකි ත්‍රස්තවාදී අභියෝගයන් සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉන්ටර්පෝල් ආයතනයේ අතිරේක අධ්‍යක්‍ෂ කරෙල් පෙලාන්, ශිරානි ඩී. ෆොන්ට්ගැලන්ඩ්, අගමැති ලේකම් සමන් ඒකනායක, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එෆ්. ලතීෆ් ඇතුළු නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.