''හැම ඡන්ද කොට්ඨාශයකටම ලක්ෂ 5000 ක්'' - වජිර



''ඉතිහාසයේ කිසිදු රජයක් නොකළ ආකාරයට සෑම ඡන්ද කොට්ඨාශයකටම ලක්ෂ 5,000 ක් බැගින් වෙන් කළා. ලක්ෂ 3,000 බැගින් මුදා හැර අවසන්: ඉතිරි ලක්ෂ 2,000 ළඟදීම'' යනුවෙන් 'ගම්පෙරළිය' කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල, කඩවත් සතර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආගමික ස්ථාන සඳහා චෙක්පත් ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අමාත්‍ය වජිත් අබේවර්ධන ඇමතිවරයා පැවසුවේය. 

මෙහිදී ආගමික ස්ථාන 86ක සංවර්ධනට රුපියල් මිලියන 62ක මුදලක්ද, ආගමික ස්ථාන 18ක සූර්ය බලශක්ති ස්ථාපනය සඳහා ආධාර ලෙස රුපියල් මිලියන 9ක මුදලක්ද පිරිනැමුණි. 

මේ සියල්ලම කළ හැකි වූයේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු විෂය භාරව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ  නිසා බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

"සංවර්ධන කටයුතු සඳහා සෑම ඡන්ද කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 5,000 බැගින් වෙන් කොට තිබෙනවා; එයින් ලක්ෂ 3000 ක කොටස් පළමු පියවර ලෙස නිදහස් කරල තිබෙනවා; ඉදිරියේදී තවත් ලක්ෂ 2000ක් නිදහස් කිරීමට නියමිතය; ලංකා ඉතිහාසයේ මෙවැනි යුගයක් තිබී නැත; මේ රජයට එසේ කරන්න පුළුවන්කම ලැබී ඇත්තේ ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති කෙනෙකු වන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ඇමති ධුරය දරන බැවිනි.

දකුණේ අගනුවර ගාල්ල. දකුණු පළාතේ වැඩිම ජනගහනය ගාල්ලේ. දකුණු පළාතේ ප්‍රධාන කාර්යාල අපට අහිමි වෙලා. දකුණු පළාත් හැදුනුම්පත් කාර්යාලය තව ටික දවසකින් මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ කරනවා. තක්සේරු කාර්යාලයක් ගාල්ලේදී ළගදීම විවෘත කරනවා.දකුණු පළාතේ වැඩියෙන්ම රට ගිහිල්ලා ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ උදවියයි. දකුණු පළාත් පාස්පෝට් කාර්යාලයත් ගාල්ල දිසාපති කාර්යාලයේ බිම් මහලේ ආරම්භ කරනවා. 

මෙම කාර්යාල මෙයට පෙර ගාල්ලට ආවා නම් ගාල්ලට අනාගතයක් තියෙනවා. ලෝකයේ පොත්පත්වල සිලෝන් ගෝල් ගැන ලියවෙනවා. සිලෝන් ගෝල්වලින් තමයි තේ පටවන්නේ. සිලෝන් ගෝල්වලින් තමයි රබර් පටවන්නේ. දැන් සිලෝන් ගෝල් අනාථයි. මගේ යුතුකම මම ඉෂ්ට කරනවා. සම්මන්ත්‍රණ ශාලාවට රුපියල් කෝටි 500ක් වියදම් කරනවා. තව විශාල වැඩ කොටසක් කර ගෙන යනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සඳහාම නව ගොඩනැගිලි ඉදි කරනවා. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඉතිහසයේ කිසිදු රජයක් සිදු නොකළ සංවර්ධනයක් අපි සිදු කරනවා. ගාල්ල දිස්ත්‍රික්කය සදහටම ජලයෙන් යට නොවන දිස්ත්‍රික්කයක් බවට 2020 වන විට පත් කරනවා.” යන්නයි.