''සමන් අදේශපාලනිකයි'' - සුනිල් ආරියරත්න


සමන් අතාවුදහෙට්ටි නිර්මාණය කළ "සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ” සහ "සොඳුරු සැරිසර රතු බලකොටුව දිගේ” කෘතීන් ජනගත කිරීම වෙනුවෙන් පසුගිය 21 වන දා සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවය.


සමන් අතාවුදහෙට්ටි රචනා කළ  "මලක් වුණේ” ගීත රචනා ග්‍රන්ථය වසරේ හොඳම ගීත ග්‍රන්ථය විය යුතු බව තම මතය වූවත්, සමන්ට එම රාජ්‍ය සම්මානය ලබා නොදුන් බවත්, ඒ පිළිබඳව තමාට දැඩි සේ රිදුණුත් සමන් උපේක්ෂා සහගතව එය විඳ දරාගත් බවත් පැවසූ මහාචාර්ය සුනිල් ආරියරත්න, සමන් ගේ මේ ගති ලක්‍ෂණ නිසා සමන් අතාවුදහෙට්ටි කෙනෙක් වීමට තමා ආසාවෙන් පසුවන බව පෙන්වා දුන්නේය.

මහාචාර්ය සුනිල් ආරියරත්න එසේ පැවසූයේ සමන් අතාවුදහෙට්ටි නිර්මාණය කළ  "සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ” සහ "සොඳුරු සැරිසර රතු බලකොටුව දිගේ” කෘතීන් ජනගත කිරීම වෙනුවෙන් පසුගිය 21 වන දා සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උළෙල අමතමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම උළෙල අනෙකුත් පොත් දොරට වැඩිමේ සාම්ප්‍රදායික උළෙලවලට වෙනස් ආකාරයකින් පැවැත්විණි.



උළෙලෙහි විශේෂත්වය වූයේ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මෙහෙය වූ සංවාද මණ්ඩපයයි.  මහාචාර්ය සුනිල් ආරියරත්න, විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන හා රංගවේදිනී බිම්සරා ප්‍රේමරත්න එම මණ්ඩපයට එක්වෙමින් සමන් අතාවුදහෙට්ටි විසින් මීට ඉහතදී සිදු කළ නිර්මාණ හා ඔහුගේ හැකියාවන් මෙන්ම සමාජ හා සාහිත්‍ය පිළිබදව ගැඹුරු කතිකාවක නිරත වූහ.

මේ වනවිට දේශපාලන ලෝකය ගිණියම් වුවත් සමන් අතාවුදහෙට්ටි ශීතල අසාමාන්‍ය චරිතයක් බව සංවාද මණ්ඩපයට එක්වෙමින් මහාචාර්ය සුනිල් ආරියරත්න පැවසිය. දේශපාලන තොරතුරු පිළිබඳව සමන් අතාවුදහෙට්ටි  සමග කතිකා කිරීමට තමන් වැඩි කැමැත්තක් දක්වුවත් සමන් අතාවුදහෙට්ටි  කිසි විටෙක දේශපාලනය ගැන කතිකා කරන්නේ නැතිව බව ද ඔහු පැවසිය. 


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය සුනිල් ආරියරත්න මෙසේ ද  කීය.

"දේශපාලනය නොදන්නවා වුණත් ඇතැමුන් දේශපාලනය කතා කරනවා. නමුත් සමන් අදේශපාලනිකයි. ඔහු දේශපාලනය කතා කරන පුද්ගලයෙක් නෙවෙයි. අනෙක් පුදුම කාරණය සමන්ට තරහකාරයෝ නැති වීමයි. විවිධ අදහස් දරණ විවිධ පුද්ගලයන් සියල්ලම සමන්ට හිතැතියි. මේ රසික සභාව ම ඊට හොඳ උදාහරණයක්. දේශපාලන පැත්තෙන් ගත්තොත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඇරෙන්නට අනෙක් සියළු දේශපාලන අදහස් දරන අය අද මෙතැන ඉන්නවා.

ඕනෑම රටක තොරතුරු එසැණින් අන්තර් ජාලය හරහා ලබාගන්න පුළුවන්. එනිසා සංචාරක ලේඛකයාට අනාගතයක් හෝ සංචාරක ලේඛන වල වැදගත්කමක් තියේද යන ප්‍රශ්නවලට මගේ ළඟ හොද පිළිතුරක් තියෙනවා. සමන් කෘති රචනා කරනවා. එම කෘති පස් හය වතාවක් නැවත මුද්‍රණය වෙනවා. අන්තර් ජාලයෙන් ජපානය, ඉන්දියාව ගැන තොරතුරු ලබාගැනීමට හැකියාව තිබියෙදී ඇයි සමන්ගේ කෘති වලට එහෙම ඉල්ලූමක් තියෙන්නේ? අපට වැදගත් දේ පමණක් ඉතාම සුමට සරල ව්‍යාක්ත භාෂාවෙන් සමන්ගේ කෘති තුළ ඇතුලත් වන නිසයි. අපව අතින් අල්ලාගන තැන තැන කැන්දා ගෙන යන ගමන් සගයෙක් බවට මේ කෘති ඔස්සේ සමන් පත්වෙන නිසයි.

එම අවස්ථාවට එක්වෙමින් බිම්සරා ප්‍රේමරත්න මහත්මිය පැවසුවේ හඬ නළුවෙක් වශයෙන් මගේ පරම්පරාවේ බොහෝ දෙනෙක්ට මතක  "ගලිවර්ගේ චාරිකා හි” ගලිවර්ට හඬ කැවීමෙන් දායක වන්නේ සමන් අතාවුදහෙට්ටි මහතා බවය. හම අත්දැකීම් නිසා කවදා හෝ සංචාර පිළිබඳව සටහන් තබන්නට සමන් එළැඹුණා දැයි තමන්ට සිතන බවත් ඇය වැඩිදුරටත් සදහන් කළාය.

සෞන්දර්ය දැකීමට සමන්ට හැකියාව තිබෙන බව පැවසු බිම්සරා ප්‍රේමරත්න මහත්මිය සමන් සොදුරු මිනිසෙකු වූ නිසා ඔහුගේ චාරිකාලංකාර ඉතාම සොදුරු අත්දැකීම් බවට පත්වී තිබෙන බවත් සංවාද මණ්ඩපයට එක්වෙමින් පැවසුවාය.

වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පැවසූයේ සමන්ගේ රචනා ශෛලිය ඉතා සිත්ගන්නා සුළු බවයි. ඒ නිසාම මේ පොත් ඔස්සේ සැබැවින්ම සංචාරයක යෙදුණා වැනි හැඟීමක් පාඨකයන් තුළ ඇති වන බවද ඔහු පෙන්වා දුන්නේය. මෙවැනි ප්‍රතිභාවක් ඔස්සේ පාඨක ආකර්ශනය දිනා ගත හැකි සංචාරක ලේඛකයන් අතර සමන් කැපී පෙනෙන බවස බලවර්ධන මහතා පැවසීය.

කෘති ද්විත්වය එළිදැක්වීමේ අවස්ථාවේ දේශනයකට එක්වෙමින් ආචාර්ය රෝහණ වීරසිංහ මහතා පැවසූයේ පාඨක සිත් තුළ විචිත්‍ර චිත්තරූප මවන සුළු ආකර්ශනීය රචනා ශෛලිය, අප දැනුවත්භාවයට පත්කරන පිරිපුන් සවිස්තරාත්මක වාර්තාකරනය සහ ගවේෂණාත්මක ඓතිහාසික පුරාවෘත්ත පිළිබඳ අනාවරණය යන කරුණු තුනම  "සොදුරු සැරිසර රම්‍ය සාගරය දිගේ” හා  "සොදුරු සැරිසර රතු බලකොටුව දිගේ” චාරිකාලංකාර කෘති ද්විත්වය තුළ අන්තර් ගත බවය.

චාරිකා උමතුවකින් හා සංචාර පිපාසාවකින් පෙළෙන දේශාටන ලේඛකයෙකු ලෙස සමන් අතාවුදහෙට්ටි මහතා තමන්වම හදුනාගන්නා බවත් සමන් අතාවුදහෙට්ටි මහතා ජපන් ගුවන් චාරිකා උමතුවකින් පෙළෙන මිතුරෙකු වන නෙබුවෝ විසින් අවාරයේ අසාමා කන්ද තරණය කිරීමට ගිය සමන් අතාවුදහෙට්ටි මහතා පිළිබඳව පුදුමයට පත්ව ඔහුගේ චාරිකා උමතුව තහවුරු කර තිබෙන බවත් රෝහණ වීරසිංහ මහතා පැවසිය.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් රෝහණ වීරසිංහ මහතා මෙසේද පැවසීය.

"මිට පෙර මුද්‍රණය කළ සේද මාවත දිගේ, සරවක් නදිය දිගේ, සොදුරු සක්වල අහස දිගේ වල දක්නට ලැබුණු පිරිපුන් සවිස්තරාත්මක වාර්තාකරණය හා ගවේෂණාත්මක අනාවරණ එළිදැක්වෙන රම්‍ය සාගරය දිගේ, රතු බලකොටුව දිගේ යන කෘතීන් ද්විත්වය තුළත් නොමදව අත්විදිය හැකියි. සමන් අතාවුදහෙට්ටි මහතාගේ චාරිකා හුදු විනෝද චාරිකා නොව ගවේෂණාත්මක අධ්‍යාපනික වශයෙන් දැක්විය හැක.

ඒ වෙනුවෙන් ඔහු කරනු ලබන කැපවීම ඉතා විශිෂ්ඨය රම්‍ය සාගරය දිගේ ග්‍රන්ථගය් අඩංගු කාර්ටුන් කටුගෙය, ග්‍රහලෝකාගාරය හා මිරයිකන් කෞතුකාගාරය යන ස්ථාන පිළිබඳව වාර්තා කරන්නේ ගැඹුරු සවිස්තර වාර්තා ස්වරුපයෙන් බව සඳහන් කල යුතුයි. රතු බලකොටුව දිගේ කෘතිය තුළ ලියවුණු පුංචි කෝච්චියේ සිම්ලා ගමන, ගෙන්දගම් නෑම සඳහා ගිය ගමන රම්‍ය නගරය දිගේ කෘතියේ අසාමා ගිනි කන්ද තරණය පිළිබඳව වාර්තා කිරීමේදී ත්‍රාසය හා තැතිගැන්මක් අප තුළ ඇති කිරීමට ඔහු සමත් බව කිව යුතුයි."
  
ව්‍යාපාරවේදී රන්ජන් පෙරේරා අදහස් දක්වමින් පැවසූයේ ජපාන සහ ඉන්දීය සංස්කෘතියේ සැබෑ හැඩ රුව දැන හඳුනා ගැනීමට සමන්ගේ මේ කෘති දෙක ඔස්සේ ඉඩ කඩ සැලසෙන බවයි. එහිදී සමන් ඉතා සියුම් ලෙස අපේ රටේ ආකල්ප සමග ඒ ඒ රටවල ඇවතුම් පැවතුම් ගලපාලන අන්දමද ඔහු පෙන්වා දුන්නේ රම්‍ය සාගරය දිගේ කෘතියෙන් මේ වාක්‍ය උධෘත කරමිනි. "අපි විස්කි බොනවා. ජපන්නු විස්කි රස විදිනවා.”

ජපානය හා ඉන්දියාව පිළිබඳ රස මතක අවුළුවාලන මියුරු ගී දෙකක් උරේෂා රවිහාරි සහ සදුනි විජේතුංග ඉදිරිපත් කළ අතර ඒ ගී සුරේෂ් මාලියැද්දගේ සංගීත සංයෝජනයෙන් ඔප් නැංවිණි.

මෙම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි  ප්‍රමුඛ  මහා සංඝරත්නය, ශ්‍රී ලංකා කතෝලික සංනිවේදන පර්ෂදයේ සභාපති ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමා ප්‍රමුඛ පූජක පක්‍ෂය, අගමැති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා, ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නියෝජ්‍ය තානාපති හූ වෙයි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් නෙහා සිං යන මහත්ම මහත්මීන්ද, ප්‍රවීණ කලාකරුවන්, ප්‍රවීණ ජනමාධ්‍යවේදීන්, ලේඛක ලේඛිකාවන්, ප්‍රකාශකයන්, රසික රසිකාවන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.