ජනපති හා කාම්බෝජයේ ව්‍යාපාරිකයින් අතර හමුවක්


ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කාම්බෝජියාවේ රාජ්‍ය සංචාරයකට එක් ව සිටී.

කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපතිවරයා සහ කාම්බෝජියානු ව්‍යාපාරිකයින්ගේ හමුවක් අද (07) නොම් පෙන් නගරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කාම්බෝජියානු අග‍්‍රාමාත්‍ය සම්ඩෙක් අක්කා මෝහා සේනා ද එක්ව සිටියේය.

ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමට එහිදී පුළුල් අවධානයක් යොමු වූ අතර දියුණු වෙමින් පවතින රටවල් ලෙස ආර්ථික සහ වෙළෙඳ කටයුතු වල දී එක්ව කටයුතු කිරීමටත්, ඇගළුම්, මැණික් කර්මාන්ත වැනි ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ දෙරට අතර පවතින සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

මෙම සමුළුව අමතා කාම්බෝජ අග‍්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් සිදුකළ අතර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක එම සමුළුව අමතනු ලැබීය.

කාම්බෝජයේ වාණිජ මණ්ඩල සභාපති නෙක් ඔක්නා සහ ශ‍්‍රී ලංකා කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති සාරංග විජේරත්න ඇතුළු දෙරටේ ව්‍යාපාරිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.