ලංකාව සංහිඳියාව ස්ථාපිත කිරීමට ගන්නා පියවර අකාෂිගේ පැසසුමට


කෘෘර අන්තවාදය පරාජය කිරීමට අවශ්‍යය පියවර ගන්නා අතරම, රටේ වාර්ගික සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් බව ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි අද (20 ) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හමු වූ අවස්ථාවේ දී පැවසුවේය. 

ඊයේ (19) බණ්ඩාරණායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති “ජාතික සම්මාන උලෙළ 2019“  හි දී  ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවය ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා ප්‍රදානය කරනු ලැබු  “ශ්‍රී ලංකා රත්න සම්මානයෙන්“ ජපන් ජාතික යසුෂි අකාෂි පිදුම් ලැබුවේය. 

ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ඔහු දැරූ නොමඳ උත්සාහය වෙනුවෙන් ජනාධිපතිවරයා ඔහුට මෙහිදී ස්තූතිවන්ත විය. එමෙන්ම ඔහුට ලෝක සාමය තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරියටත් කැප වීමට අවශ්‍යය ශක්තිය ධෛර්ය සහ දීර්ඝායු ලැබේවා යැයි සුභ පැතුම් එක් කළ ජනපතිවරයා පැවසුවේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය  වර්ධනය කිරීමට එතුමා කළ කටයුතු විශේෂයෙන් අගය කරන බවයි.


එමෙන්ම, අකාෂි ද ජනාධිපතිවරයාටත් ශ්‍රී ලාංකේය මුළු මහත් ජනතාවටත් තමන්ට ලබා දුන් ගෞරවය පිළිබඳ ස්තූතිය පළ කළේය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජපානය සහ  ශ්‍රී ලංකාව අතර බොහෝ සමානතා ඇති බවත් බුද්ධාගම දෙරට අතර විශේෂ මිත්‍රත්වය තහවුරු කරන බවත්ය.

අගමැති රනිල් වික්‍රමසිංහ, ජපන් තානාපති අකිරා සුගියාමා සහ ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන්  ද මෙම හමුවට සහභාගී විය.