දුම්රිය සේවයට රු.මි. 28,980 ක ආයෝජනයක්



සංවර්ධනය හුදෙක් එක් අන්තයකට සීමා නොවන බහුමානීය ක්‍රියාවලියක් ලෙස හඳුනාගත් වර්තමාන රජය, ශ්‍රී ලංකාවේ පවතින ප්‍රවාහන ගැටළු සඳහා ස්ථිරසාර විසදුමක් ලබාදීම සාධනීය පියවර රැසක් ගෙන ඇත. අධිවේග මාර්ගවලට පමණක් සීමා නොවී, යල්පැනගිය මෙරට දුම්රිය සේවාව නවීන තාක්ෂණයෙන් සමන්විත සීඝ්‍ර ගමනාන්තයක් ගැනීමට පියවර රැසක් ගනිමින් සිටියි. මෑතක දී මාලඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම් ආරම්භ කිරීම සිදුවිය. එය ඇමරිකන් ඩොලර් මිලියන 1850 ආයෝජනයකින් ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ මාර්ග තදබදයට තිරසාර විසදුම් ලබාදීමට සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් මෙම රජය විසින් ආරම්භකර ඇත. මෙරට යටත්විජිත අඩිතාලමක් සහිත යල්පැනගිය තාක්ෂණයෙන් සමන්විත දුම්රිය සේවාව, නවීන තාක්ෂණයෙන් බලගැන්වුන දුම්රිය සේවාවක් බවට පත්කිරීමට, ඇමරිකන් ඩොලර් මිලියන 161 ක් ආයෝජනයක් සහිත ව්‍යාපෘති මාලාවක් ආරම්භ කිරීමේ ගිවිසුම් අත්සන් කිරීම අද (20)  ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සිදුවිය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 28,980 කින් සමන්විතයි. ඉන් ඩොලර් මිලියන 01 ක් පූර්ණ ප්‍රධානයකි. ඉතිරි ඩොලර් මිලියන 160 වසර 8 ක ණය ආපසු ගෙවීමේ සහන සීමාවක් සමඟ සියයට 0.5 (+LIBOR) පොළිකට යටත් සහනදායි කොන්දේසි යටතේ ආසියානු සංවර්ධන බැංකුව මුල්‍යාධාර සැපයීම තුළින් සිදුවීමට නියමිතය.
2015 රජය බලයට පත්වීමෙන් පසු, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේ දී  ‘‘කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය” (CSRP)  ආරම්භ කිරීම සිදුවෙයි. මෙම ව්‍යාපෘතිය යටතේ, ප්‍ර‍ධාන දුම්රිය මාර්ග පද්ධතියේ, කොළඹ - රඹුක්ක කොටස (කි.මි.85), වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොළඹ- කළුතර(කි.මි.55), පුත්තලම දුම්රිය මාර්ගයේ රාගම-මීගමුව(කි.මි.25) හා කැළණිවැලි දුම්රිය මාර්ගය, මරදාන-අවිස්සාවේල්ල (කි.මි.60),  විදුලි දුම්රිය ධාවනය කළ හැකි පරිදි නවීන දුම්රිය මාර්ග පද්ධතියකින්, සංඥා හා විදුලි සංදේශ පද්ධතියකින් හා නවීන පහසුකම් සහිත අන්තර්ජාතික මට්ටමේ දුම්රිය ස්ථානවලින් සමන්විතව සංවර්ධන කිරීමට අපෙක්ෂිතය.  ශ්‍රී ලංකාවේ දුම්රිය කේෂ්ත්‍රයේ සංවර්ධනය සදහා අරමුදල් සැපයීම තුළින් ඉතිහාසයේ ප්‍ර‍ථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ දුම්රිය කේෂ්ත්‍රයේ සංවර්ධනයට අරමුදල් සැපයීමට ඉදිරිපත් වී ඇත.
ඉහත සංවර්ධනයට අමතරව, දුම්රිය ධාවනයේ දැනට පවතින ගැටළුවලට විසදුම් දීම සහ මහජනයාට හොද දුම්රිය ප්‍ර‍වාහන පහසුකම් සැලසීම සදහා ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් සැපයීම හරහාම ක්‍රියාත්මකවීම සදහා දුම්රිය කාර්‍යක්ෂමතාව  නැංවීමේ ව්‍යපෘතිය (REIP) 2018 පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන ලදි. මේ යටතේ අධ්‍යයනයන් හරහා සහ දුම්රිය සේවාවේ අවශ්‍යතා අනුව හදුනාගත් උප ව්‍යාපෘති සහ මිලදී ගැනීම් 32 ක් සදහා ඇ.ඩො. මිලියන 160 ක අරමුදල ආසියානු සංවර්ධන බැංකුව විසින් ගිය සතියේ අනුමතකර ඇත. 

මෙම REIP ව්‍යාපෘතිය කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති (CSRP)  සමග ක්‍රියාත්මක වෙනවා. මේ යටතේ ක්‍රියාත්මක උප ව්‍යාපෘති 32 යටතේ, දුම්රිය ප්‍රවේශපත් සහ ආසන වෙන්කිරීමේ පද්ධතිය, දීප ව්‍යාප්ත දුම්රිය විදුලි සංදේශ පද්ධතිය, කොළඹ දුම්රිය පාලන කාර්යාලය සහ දුම්රිය මෙහෙයුම් මුලස්ථානය ඉදි කිරීම, මාලපල්ල දුම්රිය ස්ථානය අසළ නිවාස 108 කින් යුතු මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම මගින් දුම්රිය මාර්ග අවට පදිංචි ජනතාව පදංචිකිරීම, මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය, කැළණි වැලි දුම්රිය සංවර්ධන ව්‍යාපෘතිය අතුළු ව්‍යපෘති රැසක් ක්‍රියාත්මකවීමට නියමිතය.
ඒ යටතේ, එදා පුංචි කෝච්චියෙන් ගමන් කළ, අද ඩීසල් දුම්රියෙන් ගමන් කරන ජනතාව නුදුරේදීම විදුලි දුම්රියෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. මෙරට දුම්රිය පද්ධතිය ඉහළනැංවීමට මෙවැනි අද්විතීය සංවර්ධනයක් ආරම්භ කිරීමට මෙම රජය පියවර ගෙන ඇත. මෙම සංවර්ධනය යටතේ මෙරට ප්‍ර‍වාහන පද්ධතියේ පවතින ප්‍රධාන ගැටළු රැසක් අවසන්වීමට නියමිතයි.