''පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට පියවර ගතයුතුයි'' - අගමැති



පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශය විසින් ඉදිපත් කර තිබෙන වාර්තාවේ යම් යම් කොටස් සමහරුන් විසින් ප්‍රති‍ක්ෂේප කිරීමට උත්සාහ දරන බවත් එමගින් සිදු වන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදවයට අනුබල දීමක් බවත් පසුගියදා (14) කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. 

කිසිම වාර්තාවක කොටසක් ප්‍රතික්ෂේප කර, ඉතිරි කොටස් පිළිගැනීම කළ නොහැක්කක් බවත්, දේශපාලන අරමුණු උදෙසා මෙසේ ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ සාක්‍ෂි වල ශක්තිය අඩපණ වීමක් බවත් අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ,

ඉම්රාන් මහරුෆ් මට කීපවතාවක් කතා කළා

''කින්නියා ප්‍රදේශයට පැමිණිලා මෙම ගොඩනැගිල්ල විවෘත කරන්න ඉම්රාන් මහරුෆ් මැතිතුමා මට කිහිප වරක් ආරාධනා කළා. එතුමා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට විශාල වැඩ කොටසක් සිදු කරන මන්ත්‍රීවරයෙක් බව සඳහන් කරන්න කැමැතියි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් සෑම අමාත්‍යාංශයක් සමඟ ඉම්රාන් මහරුෆ් මැතිතුමා සම්බන්ධ වී කටයුතු කරනවා. කින්නියා හෝ ත්‍රිකුණාමල ප්‍රදේශවලට පමණක් සීමා නොවී ජාතික හා ජාත්‍යන්තර තලයේ වැඩ කටයුතු එතුමා විසින් සිදුකරගෙන යනවා. ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රී කණ්ඩායමේ එතුමා ක්‍රියාශීලී ලෙස කටයුතු සිදුකරනවා. ඒ නිසා එතුමාගේ ආරාධනාව මට ඉවත දමන්න බැරි වුණා.

මෙම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීමට ඉම්රාන් මහරුෆ් මැතිතුමාගේ පියතුමා වුණු එම් ඊ. එච්. මහරුෆ් මැතිතුමා විශාල වැඩකොටසක් සිදුකළා. 1982 වසරේ මම කින්නියා ප්‍රදේශයට පැමිණෙන කොට කින්නියා පාලම තිබුනේ නැහැ. ඒ වසරේ දී තොටුපළෙන් කින්නියා ප්‍රදේශයට පැමිණිලා මෙම විදුහලේ ඉදිකළ තෙමහල් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමට මට හැකි වුණා. ඒ කාලයේ මෙම විදුහල මධ්‍ය මහා විදුහලක් වුවත් මෙහි තිබුණේ තනි මහල් ගොඩනැගිලි පමණයි.

2001 වර්ෂයේ මම අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ විට කින්නියා ප්‍රදේශයට අත්‍යවශ්‍යව තිබුණු පාලම ඉදිකළ යුතු බව තීරණය කළා. 2001 වර්ෂයට පෙර ජනතාව ඉල්ලීම් කර තිබුනත් පාලමක් ඉදිකර දීමට කිසිදු රජයක් මුලික පියවරවත් ගෙන තිබුනේ නැහැ. මෙම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම් වලට කන්දෙමින් පාලම ඉදිකිරීමට අවශ්‍ය මුල්‍ය පහසුකම් සලසා ගැනීමට අපි එවක සෞදි රජය සමග සාකච්ඡා පැවැත්වුවා. එහි ප්‍රථිපලයක් ලෙස පාලම් ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබාදීමට සෞදි රජය එකග වුණා. මුදල් ලැබීමත් සමග ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සියලූ කටයුතු සුදානම් කර තිබු අවස්ථාවක අපේ රජය පරාජය වුනා. ඉන් පසුව පත් වුනු ආණ්ඩුව කින්නියා පාලම විවෘත කිරීමට කටයුතු කළා. මෙවැනිම තවත් ව්‍යාපෘතියක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හදුන්වන්න පුළුවන්. නමුත් එම ව්‍යාපෘතිය ද අපෙන් පසු බලයට පත්වූ රජයක් මගින් විවෘත කිරීම සිදු කළා.

සින්න මහරුෆ් මන්ත්‍රීතුමාගේ ආරාධනයෙන් අද දින මුල්ගල තැබූ පාලම් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 750ක් වෙන්කර තිබෙනවා. මම මෙහි පැමිණි පළමු අවස්ථාවේ එතරම් දියුණුවක් ලබා තිබුනේ නැහැ. මෙම ප්‍රදේශයේ ජනතාවට අධ්‍යාපනය ලබාදෙන්න       එම්. ඊ. එච්. මහරුෆ් මැතිතුමාට අවශ්‍ය  වූ නිසා මෙම පාසැල ඇතුළු අනෙකුත් පාසල් ඉදිකිරිම සිදුකළා. 1992 සිට 1994 දක්වා කාලය තුල පාසල් කිහිපයක් එම්. ඊ. එච්. මහරුෆ් මැතිතුමා ආරම්භ කළා.

අද මෙම අවස්ථාවට එතුමාගේ පුතුණුවන් සමග එක්වුනේ එම්. ඊ. එච්. මහරුෆ් මැතිතුමාගේ නමින් නම් කළ පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහායි. එම්. ඊ. එච්. මහරුෆ් මැතිතුමා මට විශාල ශක්තියක් වුණා. නමුත් නොසිතු අවස්ථාවක එතුමා ඝාතනය වීම රටට විශාල පාඩුවක් බව අප සියලූ දෙනාම දන්නවා.

මෙම විද්‍යාලයේ දරුවන් විශ්ව විද්‍යාල සුදුසුකම් ලබා තිබෙනවා. මෙම විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශයක් පවත්වාගෙන යන අතර තව දුරටත් පාසලේ සංවර්ධන කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කින්නියා ප්‍රදේශයේ ජාතික පාසල් 3ක් තිබුනත් කින්නියා අධ්‍යාපන මණ්ඩලයට ලංකාවේ අධ්‍යාපන මණ්ඩල අතර අවසාන ස්ථානය හිමිවීම පිලිබදව අපේ අවධානය යොමුවි තිබෙනවා. එනිසා හැකි ඉක්මනින් කමිටුවක් මගින් කින්නියා ප්‍රදේශයේ සෑම විද්‍යාලයක් පිළිබඳවම සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයා පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නවා.

අපි රටපුරා පාසල් දියුණු කරනවා 

රට පුරා පාසල් සියල්ලම දියුණු කිරීමට අප කටයුතු කරගෙන යනවා. එහිදී කින්නියා මධ්‍ය මහා විද්‍යාලයත් දියුණු කිරීමට අපි සියලූ අවශ්‍ය සහය ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා. අද මෙම පාසලට නව ක්‍රීඩාංගනයක් ලබාදීම සිදුවුණා. ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහලට යාමට අවශ්‍ය සියලූ පහසුකම් දැන් ඔබට ලබාදී තිබෙනවා. ඉදිරියේදී මෙම ක්‍රීඩා නැංවීම වෙනුවෙන් ශරීර සුවතා ඒකකයක් ලබාදීමට ද කටයුතු සකස් කරමින් සිටිනවා.

රට පුරා පාසල් දියුණු කිරීමට නම් ප්‍රමාණවත් වන ගොඩනැගිලි ප්‍රමාණය තිබිය යුතුයි. අපි අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ  "ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය ආරම්භ කලේ ඒ නිසායි.  මේ වන විට පාසල් තුල  "ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ඉදිකර තිබෙනවා.  පාසල් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන උපකරන ලබාදීම සිදුකරනවා. රටක අධ්‍යාපන තත්වය ඉහල නැංවීමේ ප්‍රධානම සාධකය වන්නේ පුහුණු ගුරුවරුන් ඉගැන්වීම් සඳහා යෙදවීමයි. අප රටේ දැනට ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන්ගෙන් 99% සිටින්නේ පුහුණු ගුරුවරුන් බව සඳහන් කරන්න කැමතියි. පුහුණු ගුරුවරුන් හා අනෙකුත් පහසුකම් සමඟ පාසල් දියුණු කළ යුතුයි. 

සෞඛ්‍යමත් දරු පරපුරක් වෙනුවෙන් සුරක්ෂා 

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය සෘජුවම බලපානවා. ඒ නිසා සෞඛ්‍යමත් දරු පරපුරක් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙල දිවයින පුරා පාසල් සිසුන්  ඉලක්ක කරගෙන දියත් කර තිබෙනවා.  රටේ සියලූ දරුවන්ට වසර 13ක අධ්‍යාපනය අපේ රජය යටතේ අනිවාර්ය කිරීමට කටයුතු කළා. විෂයක් අසමත්වීම මත දරුවෙකු පාසලෙන් ඉවත් කිරීම සාධාරණ නැහැ. සාමාන්‍ය පෙළ අසමත් දරුවා ඇතැම් විට නර්තනයට හෝ කී්‍රඩාවට දක්ෂයෙක් විය හැකියි. නමුත් වෙනත් ක්ෂේත්‍රයක දක්ෂ දරුවන් විෂයන් දෙකක් අසමත් වීම මත ඔවුනට විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට හැකි වන්නේ නැහැ. ඔවුන්ගේ දක්ෂතා දක්වන වෙනත් ක්ෂේත්‍රවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදී එම දක්ෂතා වර්ධනය කිරීම අපේ අපේක්ෂාවයි. දරුවන්ගේ අධ්‍යාපනයට වගකියන ආණ්ඩුවක් ලෙස දරුවන්ට වසර 13ක අධ්‍යාපනය තහවුරු කිරීමට අපට හැකිවුණා. සාමාන්‍ය පෙළ විෂයන් සමත්වීම, අසමත්වීම උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරීමට මින් පසු ගැටළුවක් වන්නේ නැහැ. ඒ අනුව රටේ සෑම දරුවෙකුටම තමන්ගේ දක්ෂතාව ඇති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වීමට අවශ්‍ය වටපිටාව අප ඇතිකර තිබෙනවා. 

රටේ අධ්‍යාපනය 21 වන ශත වර්ෂයට ගැලපෙන පරිදි සකස් කළ යුතුයි. පරිගණක යුගයකට දරුවන් රැගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ට පරිගණක අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් ටැබ් පරිගණක ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙනවා. කින්නියා මධ්‍ය මහා විද්‍යාලයටත් එම අවස්ථාව හිමි වෙන බව සඳහන් කරන්න කැමතියි. මෙම වැඩපිළිවෙල සාර්ථකත්වය අනුව අනෙක් පළාත්වල මහා විද්‍යාලවලටත් ටැබ් පරිගණක ලබාදිමට කටයුතු කරනවා. එම සැලැස්මට අනුව පාසල් දරුවන් දැනුමෙන් පිරිපුන් දරුවන් ලෙස සමාජයට වැඩදායි වන ලෙස බිහි කිරීම අපගේ අරමුණ  වෙනවා.  පරිගණක මගින් අධ්‍යාපනය ආරම්භ කරන පාසල් පන්ති කාමරවල ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරු භවතුන් හටත් ටැබ් පරිගණක පුහුණුවක් සමඟ ලබාදීමට කටයුතු කරනවා. මෙම ව්‍යාපෘතියේ අදහස් පිළිබද අපව දැනුවත් කරන ලෙස පාසල් කාර්ය මණ්ඩලය වගේම දෙමව්පියන්ගෙනුත් අපි ඉල්ලීම් කරනවා.  


මේ ප්‍රදේශයට ඉතිහාසයක් තිබෙන නාවික ගමනාන්තයක් තිබුණා 

මෙම ප්‍රදේශය අධ්‍යාපනයෙන් නොදියුණු ප්‍රදේශයක්. මෙම ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ගම්මාන තිබෙනවා.  මුස්ලිම් ජාතිකයින් මෙම ප්‍රදේශවල පදිංචි කළේ සිංහල රජවරුන් විසින්.  මෙම ප්‍රදේශය ඉතිහාසයක් තිබෙන නාවික ගමනාත්තයක් තිබුණා. මෙම ප්‍රදේශයේ සියලූ දෙනාම සහයෝගයෙන් ජීවත්වීම පිළිබඳව මම සතුටට පත්වෙනවා. මෙම උත්සව අවස්ථාවේ ඉදිරිපත් කළ නර්තන අංගයන් විවිධ ජාතින් වල සංස්කෘතික ලක්ෂණ එකතු කර තිබීම අගය කළ යුතුයි. ජාතික සමගිය සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා වන ලෙස සිදු කළ නර්තන අංගයක් ලෙස දක්වන්න පුළුවන්. බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව ජීවත් වන අප රට තුල ව්‍යවස්ථාවෙන් පවා බෞද්ධාගමට මුලිකත්වය ලබා දී තිබෙනවා. නමුත් සෑම ආගමකටම, ජාතියකටම ශ්‍රී ලාංකිකයන් වශයෙන් සමාන අයිතියක් තිබෙනවා. ශ්‍රී ලාංකිකයෙක් වීමට වෙනත් ආගම් ඇදහිම් සිදුකිරීම ගැටළුවක් වන්නේ නැහැ. සියලූ ආගමික ඉගැන්වීම් තුල අනෙක් ආගම්වලට ඉඩ ලබාදී තිබෙනවා. ජාතීන් අතර ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඔප් නංවන මෙවැනි සෞන්දර්යය අංගයන් ඉදිරිපත් කිරීම ගැන මම නැවත වරක් ස්තුතිය පුද කරනවා. 

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා පල්ලිවල හා හෝටල්වල විශාල ජනතාවක් මිය ගියා. අප ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළේ ඇයි දැයි කියා ඇතමුන් ප්‍රශ්න කළා. පාස්කු ප්‍රහාරයේ වගකීම සමස්ත මුස්ලිම් ප්‍රජාව මතම පැටවීමට ඇතමුන් කටයුතු කරනවා. ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සිටී නම් තරාතිරම නොබලා දඩුවම් ලබාදිය යුතුයි. සියලූ ජාතී ආගම් අතර සුළුතරයක් වූ ජාතිවාදීන් පිරිසක් සිටිය හැකියි. මෙවැනි සුළු ප්‍රමාණයක් පිළිබඳව දක්වමින් විශාල ජාතිවාදී ක්‍රියාවන්ට යොමු වීමට ක්‍රියා කිරීම වැරදි බව මම කියන්න කැමතියි.  වැරදි කළ සියලූ දෙනාටම විරුද්ධව කිසිදු සමාවකින් තොරව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස සියලූ ආගමික නායකයින් මගෙන් ඉල්ලීම් කළා. මාස දෙකක් වැනි කෙටි කලත් තුල ප්‍රහාරයට සම්බන්ධ සියලූ දෙනාම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ආරක්ෂක අංශයන්ට ස්තුති වන්ත විය යුතුයි. මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පිරිස් සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයනුත් අත්අඩංගුවට ගැනීම සිදු කරනවා.    

මෙම ප්‍රහාරයට සහාය දක්වමින් කින්නියා ප්‍රදේශයේ කිසිදු අයෙකු කටයුතු නොකර තිබීම විශේෂයෙන් සඳහන් කළයුතුයි. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ  සියලූ දෙනා පිළිබදව සීඅයිඩිය වාර්තා ලබාදී තිබෙනවා.

මුස්ලිම් අමාත්‍යවරු මෙම පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණවලට වලට මැදිහත් වන බව සඳහන් කරමින් ඇතැම් කණ්ඩායම් චෝදනා එල්ල කළා. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව වැරදිකරුවෙක් වීමෙන් පසුව පමණක් ධූරවලින් ඉවත්වීම සිදුවෙනවා. නමුත් මෙම සිදුවීමේදී සියලූ මුස්ලිම් ඇමතිවරුන් තමන් දැරූ සියලූ අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වීමට කටයුතු කළා. පරීක්ෂණවලට බලපෑම් එල්ල වනවා යැයි ඇතමුන් කළ චෝදනාවලට පිළිතුරු ලෙස අමාත්‍යවරුන් මෙලෙස ඉල්ලා අස්වූවා. ඉන් පසුව ඔවුන් නිර්දෝෂි නම්  නැවත අමාත්‍යධූර ලබා ගැනීම පිළිබදව සලකා බලන බව ඔවුන් සඳහන් කළා. ඒ අනුව ඔවුන් අමාත්‍යධූරවලින් ඉවත්වී සිටිනවා. ඒ නිසා ඔවුන් පරීක්‍ෂණයන්ට බලපෑම් කළා යැයි කිසිවෙකුටත් චෝදනා නගන්නට බැහැ.

කරුණු සොයා බලන්න තේරීම් කාරක සභාවක් පත්කළා 


මේ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු ලබාගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා.  ආරක්ෂක අංශ විසින් සකස් කළ පරීක්ෂණ වාර්තාව තේරීම් කාරක සභාවට භාර දුන්නා.  තේරීම් කාරක සභාව තවත් අවශ්‍ය කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.  

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් යුධ හමුදාපතිවරයාට බලපෑම් එල්ල කළේ යැයි අදහස් පළවීම නිසා ඒ පිළිබදව තේරීම් කාරක සභාවේදී යුධ හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබුණා. එහිදී යුධ හමුදාපතිවරයා දැක්වූ අදහස් මගින් එලෙස බලපෑමක් එල්ල කර නොතිබුණු බව මුළු රටටම මාධ්‍ය හරහා ඔප්පු වුනා. එමෙන්ම පොලිස් බුද්ධි අංශ වාර්තාව කතානායකවරයාට බාර දී තිබෙනවා. ඒ වාර්තාව තුල චෝදනා 300ක් පමණ තිබුණත් එහි කිසිම චෝදනාවක් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට විරුධව නොමැතිව බව සඳහන් වෙනවා. 

පරීක්‍ෂණවලට මුස්ලිම් අමාත්‍යවරුන් බලපෑම් එල්ල කරන බවට රටේ මතයක් ගොඩනැගී තිබුණා. එම නිසා මෙම චෝදනාවලින් නිදහස් නොවී අමාත්‍යධූර ඉදිරියට කරගෙන යාම අපහසු බව මුස්ලිම් මන්ත්‍රිවරුන් සඳහන් කළා. මෙම වාර්තාවල අඩංගු කරුණු පිළිබදව දැනගැනීමට කතෝලික සභාවට අයිතියක් තිබෙනවා. මෙම සියලූ වාර්තා කාදිනල් තුමාට ලබාදී එම වාර්තාවල අඩංගු ගැටළු හා පිළිතුරු පිළිබදව දැනුවත් කරන ලෙස සීඅයිඩියට සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින්ට මම උපදෙස් ලබා දුන්නා.

පාස්කු ඉරිදා ප්‍රහාරය කතෝලික ජනතාව තුල සංවේගයක් ඇති කළා. ඔවුන්ට ඒ පිළිබදව කණගාටුවක් හා කෝපයක් ඇතිවී තිබෙනවා. මෙම සිදුවීම පිළිබද පරීක්ෂණවලට මුස්ලිම් අමාත්‍යවරුන් බලපැම් එල්ල කරනවාද යන්න පිළිබදව ඔවුන්ට සැකයක් ඇති වී තිබුණා. ඒ නිසා අදාල වාර්තා පිළිබදව කතෝලික නායකයින් දැනුවත් කිරීමට පොලිසියට අවස්ථාව ලැබුණා.

පොලීසිය සැකසූ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නැයි ඇතැමුන් කියනවා 

පොලිසිය මගින් සකස් කළ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නැයි කියා ඇතමුන් ප්‍රකාශ කරනවා. මෙම එක වාර්තාවක් ප්‍රතික්ෂේප කළ විට අනෙක් සම්පූර්ණ වාර්තා පිළිබදව විශාල සැකයක් ඇතිවෙනවා. මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතුව තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට නඩු ගොනු කිරීම අවශ්‍ය සියලූ තොරතුරු පොලිසිය ලබාදී තිබෙනවා. නඩු විභාග කිරීමේදී වාර්තාවන් සියල්ල පිළිබදව ඇති විශ්වාසය එක් වාර්තාවකට ඇති සැකය නිසා නැති වී යා හැකියි. 

එහිදි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට මෙම සාක්ෂි පිළි නොගන්නා ලෙස උසාවියෙන් ඉල්ලීම් කිරීමට අවස්ථාව ලැබෙනවා.  එසේ වාර්තා පිළිබද විශ්වාසය නැති කිරීමට කටයුතු කළහොත් මාස දෙකක් තුල කැපවීමෙන් රාජකාරි කළ පොලිස් නිලධාරීන්ගේ වැඩ පිළිවෙල අඩපණ වීමක් සිදු වෙනවා. එම පරීක්ෂණ වාර්තා මගින් වැරදිකරුවන් වන සියලූ දෙනාටම දඬුවම් ලබාදීමට අපගේ සහාය ලබාදිය යුතුයි.

එම වාර්තා පිළිගෙන කටයුතු කළ යුතුයි. එසේ නොවුනහොත් ආරක්ෂක අංශ කැපවීමෙන් කෙටි කලකින් සිදු කළ පරීක්ෂණ මගින් වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රියාවලිය කඩා කප්පල් කිරීමක් බවට පත්වෙනවා. වාර්තාව මගින් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා නිවැරදිකරු කර තිබෙනවා. එමනිසා එම වාර්තාව මත ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබදව ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා. මෙම සිද්ධියට සම්බන්ධ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපගේ විරෝධයක් නැහැ. ඔවුන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් නව නීති අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු කිරීමට අප සූදානමින් සිටිනවා.'' යන්නයි.