ගූගල් ට්‍රාන්සිට් - පොදු ප්‍රවාහනයට නව අර්ථකතනයක්



පොදු ප්‍රවාහනයෙන් ජනතාව ඈත්වීමේ අභියෝගයට ගූගල් ට්‍රාන්සිට් ඔස්සේ පිළිතුරක්: බස් රිය සහ දුම් රිය ගමන් විස්තර ළඟදීම ඔබේ ස්මාර්ට් දුරකථනයට


පොදු ප්‍රවාහන සේවා භාවිතා කර ගමන් පහසුව සලසා ගන්නා ආකාරය පිළිබඳව සිතියම් ගත උපදෙස් ඔබේ ස්මාර්ට් දුරකථනයට ලබා ගැනීමේ පහසුකම සලසමින් ගූගල් ට්‍රාන්සිට් විශේෂාංගය මෙරට සක්‍රීය කිරීමට අවශ්‍ය දත්ත සමූහය ගූගල් ආයතනයට යොමුකිරීම අද (12) සිදුවිය. මෙම සේවාව මගින් මගී ජනතාවට පොදු ප්‍රවාහනයේ තොරතුරු විශාල වපසරියකින් ලබා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. 

උදාහරණයක් ලෙස ඔබට නාරාහේන්පිට සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට අවශ්‍ය නම් එවිට මෙම ගූගල් ට්‍රාන්සිට් විශේෂාංගය මගින් පොදු ප්‍රවාහනය භාවිත කර එනම් දුම්රිය සහ බස්රථ මඟින් අනුරාධපුරයට යා හැකි ආකාරය සිතියම්ගතව පෙන්නුම් කරයි. ගමනට ගතවන කාලය, බස්රථ නවත්වන ස්ථානය, පයින් යායුතු තැන්, දුම්රිය නැඟිය හැකි තැන් ආදී වශයෙන් තොරතුරු රැසක් එයින් ලබා ගත හැකිය. 

ජාතික ගමනාගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සර උත්සවයේදී අද  එම ගූගල් ට්‍රාන්සිට් විශේෂාංගය මෙරටට සක්‍රීය කර ගැනීම සඳහා අතවශ්‍ය වන දත්ත සමූහය ගූගල් ආයතනයට නිල වශයෙන් යොමු කිරීම සිදුවිය. ඉදිරි දින කිහිපයේදී ගූගල් ආයතනය විසින් එකී දත්ත නිරීක්ෂණය කර අන්තර්ජාලයට මුදා හැරෙනු ඇති බවත්, ඒ අනුව ඉතා ඉක්මනින් ගූගල් ට්‍රාන්සිට් විශේෂාංගයෙන් ‍තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති බවත් එම ව්‍යාපෘතියේ ‍භාරකරු, මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දීමන්ත ද සිල්වා  පැවසීය.

මෙම විශේෂාංගය දැනටමත් ජපානය, චීනය වැනි රටවල ක්‍රියාත්මක වන අතර ඉදිරි සති කිහිපයේදී ශ්‍රී ලංකාවේද මෙම විශේෂාංගය සක්‍රිය වෙයි. එය ප්‍රවාහනයේ තොරතුරු විප්ලවයක් ලෙස සැලකිය හැකිය.

"ගූගල් ට්‍රාන්සිට් විශේෂාංගයෙන් මුල් අවස්ථා‍වේදී තොරතුරු ලබා ගැනීමට හැකි වන්නේ බස්නාහිර පළාතේදී පමණි. දෙවැනි අදියරේදී සෙසු පළාත් දක්වා ව්‍යාප්ත කෙරේ. දුම්රිය, අන්තර් පළාත් බස්රථ සහ පළාත් සභා බස්රථ පිළිබඳ ‍තොරතුරු එයින් ආවරණය කෙරෙයි. දුම්රිය රතු පැහැයෙන්ද අන්තර්පළාත් බස්රථ නිල් පැහයෙන්ද පළාත් සභා බස්රථ කොළ පැහැයෙන්ද සිතියමේ දැක්වෙයි. මුල් අවස්ථාවේදී කාල සටහන් ගත තොරතුරු පමණක් එම ගූගල් ට්‍රාන්සිට් විශේෂාංගයෙන් ලබා ගැනීමට හැකි වුණත් පසුව ජී. පී. එස්. තාක්ෂණය යොදා ගනිමින් සජීවි තොරතුරු මෙම විශේෂාංගයෙන් ලබා දීමට හැකි වනු ඇත." ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මෙහිදී ප්‍රකාශ කළේය.