තැපැල් සේවකයින් හෙට වර්ජනයේ


ජූලි මස 16 වෙනි දින සවස 4.00ට තැපෑලේ ක‍්‍රියාත්මක වන වැඩ වර්ජනය සඳහා ලංකා තැපැල් සේවා සංගමයේ සියළුම සමාජිකයින් ඒකරාශී වන බව ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද ගේ අත්සනින් ඊයේ (14) නිකුත් කළ නිවේදනයක දක්වා තිබේ. 

අදාළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ, 

''6/2006 වැටුප් චක‍්‍ර ලේඛනයට අනුකූලව ක‍්‍රියාත්මක කරන බඳවා ගැනීම් පටිපාටිය නිසා බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප් තල අහිමි කරමින් ඇත. තැපැල් පරිපාලනය හා ආණ්ඩුව තැපැල් සේවකයින් 26000 ක් පමණ වසර 13ක් සිට පීඩනයට පත් කරමින් සිටී. පසුගිය වසර 13 තුළ වෘත්තීය සමිති විවිධ ක‍්‍රියාමාර්ග ගෙන ඇත. 2018 ජූනි මස 11 වන දින සිට දින 16 ක අඛණ්ඩ වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කළ අතර එහිදී ජනාධිපති විසින් පත් කළ කොමිසමේ යෝජනා ක‍්‍රියාත්මක නොකිරීමෙන් තව දුරටත් තැපැල් සේවක ගැටළු නොවිසිදී පවතී.

නොවිසිදන මෙම ගැටළු විසඳන ලෙස බල කරන දින දෙකේ වැඩ වර්ජනයට කන් නොදී තැපැල් පරිපාලනය හා ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඉදිරියේදී මින් එහා ගිය දැඩි ක‍්‍රියාමාර්ගවලට යෑමට තැපැල් සේවකයින්ට සිදු වන බව කණගාටුවෙන් දැනුම් දෙමු. මෙම වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදු වන අපහසුතාවලට ආණ්ඩුව හා තැපැල් පරිපාලනය වගකිව යුතු බව දන්වා සිටිමු.'' යන්නයි.